කන විද්දේ නැකතට ද...? 

ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ හඳුනාගත හැකි සිරිත් විරිත්, සම්ප්‍රදායන් බොහොමයකි. ඒ අතරින් ගැහැනු දරුවකු ඉපිද මාස කිහිපයක් ගත වූ පසුව නැකැත් බලා කන් විද කරාබු යුගලක් පැළඳවීම සාමාන්‍ය සිංහලයාගේ සිරිත ය. එනමුත්  වර්තමාන සමාජය තුළ මෙය විලාසිතාවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම බොහෝ තරුණියන් කරාබු කිහිපයක් එක් කනක පැළඳ සිටීම සුලබව දැකිය හැකිය. අනෙක් අතට වර්තමාන සමාජය තුළ පිරිමි පාර්ශවය ද මේ කෙරෙහි විශේෂයෙන් නැඹුරුව වීම දැකගත හැකි ය. විවිධ විලාසිතාවන්ගෙන් හැඩ ගැන්වුණු විවිධ ආකාරයේ වෛර්ණයෙන් සකස් වූ කරාබු යුගල පැළඳ සිටින ස්ත්‍රීන් සහ පුරුෂයන් අද සමාජය තුළ දැකිය හැකි වීම සාමාන්‍ය වුවකි. එනමුත් කන් විද කරාබු යුගලක් පළඳවන සැබෑම හේතු සාධක පිළිබඳ ඔබ දැනුවත්ද...? කන් විදීම චාරිත්‍රයක් ලෙස සංස්කෘතිය තුළ නිර්මාණය වූයේ ඇයි ...? සිතා බලන්නට ඔබට ඉඩ හසර විවර ය. 

“රක්ෂා භූෂණ නිමිත්තං - බාලාස්‍ය කර්ණේ වීදාතේ ” යනුවෙන්  සුශ්‍රැතචාර්ය තුමාණෝ සිය සංහිතාවේ සූත්‍රස්තානයේ දහසය වන අධ්‍යායයේ ලා එහි ගුණ පණ පවසත්. ඒ අනුව ඉන් අර්ථවත් වන්නේ බාල ග්‍රහදොස් ආදියෙන් ආරක්ෂා වීමට ආභරණ පැළඳීම මෙන්ම ශරීර ශෝභාව අරමුණු කොට කන් විදීමට  නිර්දේශ කළ බවයි. යම් යම් අපල උපද්‍රව, පිරිපත දුරුකර ගැනීම සඳහා විවිධ රත්න වර්ග සහ ආභරණ පැළඳීම ආයුර්වේදයේ ද අනුමත කර ඇත. ඒ අනුව කන් විද කරාබු යුගළක් පැළඳීම මුහුණට සහ කන්වලට අමුතු ඔපයක් මෙන්ම ග්‍රහ දෝෂ නිවාරණය ද අපේක්ෂා කරයි. කරාබු නැතිනම් අරුංගල් ආදී රන් ආභරණ කාන්තාවක් පළඳින්නේ කාන්තා මුහුණකට අවැසි ශෝභාව එක්  කර ගැනීමට ය. ඇය කරාබු යුගල ගැලවූ විට මුහුණ මැලවී යන බව අතීත ගැමියන් විශ්වාස කළේය. සාමාන්‍යයෙන් ගැහැනු දරුවෙකු ඉපිද මාස හයේ සිට අට දක්වා අතර කාලයේ දී කන් විදීම සුදුසු වන බව ගැමියන් අතර පවතින එක් මතයකි. එමෙන්ම ආචාර්ය වාග්භට සඳහන් කරන ආකාරයට ශීත සෘතුවේදී කන් විදිය යුතු බවත් සඳහන් වේ.

සාමාන්‍යයෙන් ගැහැනු දරුවකු ඉපදුණු පසු සිදු කරන කන් විදීමේ චාරිත්‍රය මහත් ගෞරව භක්තියෙන් යුක්තව සිදු කරනු ලබන්නකි. කන් විදින්නේ නැකතකට අනුව ය. මේ සඳහා සුභ මොහොතක් යොදා ගැනේ. සුබ මොහොතින් සිදු කරනු ලබන කන් විදීමේ දී ලේ නොගලයි. නොපැසවයි. තුවාලය ඉතා ඉක්මනින් සුවපත් වේ. එමෙන්ම පවතින සියලුම ග්‍රහ අපල උපද්‍රව දුරුවන බවත් ගැමියා විශ්වාස කරයි. කනෙහි විදිය යුත්තේ කුමන ස්ථානයේද යන්නත් මෙහිදී අවධානය යොමු කරනු ලබන සුවිශේෂී කරුණකි. කන්පෙත්තේ ස්වභාවයෙන්ම පිහිටි දෛවි කෘත සිදුර මේ සඳහා යොදා ගනී. උපතින්ම පිහිටි මෙම සිදුර තුළ සිරා, ධමනි තරුණාස්ථි ආදී කිසිවක් නොමැති බැවින් එම ස්ථානය සොයා බලා සෘජුව විධි කල්හි කිසිදු ලේ ගැනීමක් හෝ වේදනාවක් ඇති නොවේ. දෛවි කෘත සිදුර නොව කන් පෙත්තේ  අන් තැනක් විදි විට ලේ ගැලීම, වේදනාව, ඉදිමීම, පැසවීම උණ ගැනීම ආදිය ඇතිවිය හැකිය. විශේෂයෙන්ම පුරාණ ගැමියා කන් විදීමේ චාරිත්‍රය සිදු කරනු ලබන්නේ දරුවා හොඳින් පිරිසුදු කොට නහවා සෙත් පිරිත් ගායනා කොට ජය මංගල ගාථා, අෂ්ටක ආදියෙන් ආශිර්වාද කොට සුබ මොහොතිනි. දෛවි කෘත සිදුර ම විද ආභරණ පැළඳවීමෙන් කර්ණවේධන සංස්කාරය සම්පූර්ණ වේ. ඉන් ගැහැනු දරුවාට ශෝභාවත් ආරක්ෂාවත් යන කරුණු දෙකම සිද්ධ වන බව ගැමි විශ්වාසයයි.

එමෙන්ම කන් විදීමේ නැකත සකස් කර ගන්නේ ද විෂ කලාව නැති දිනයක ය. ඒ සඳහා නැකතට තෝරා ගන්නා වේලාව වන්නේ ඉර මුදුන් වීමට පෙර උදෑසන කාලය ය. රාත්‍රී කාලය මේ සඳහා යොදා ගන්නේ නැත. කන් විදීමේ නැකත සකස් කරගත යුතු වන්නේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල බවත් විශ්වාසයන් අතර පවතී. කන් විදීමේ නැකත සකස් කිරීමේදී චන්ද්‍ර බලය පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර තිර රාශියකින් තොරව වර හෝ උභය හෝ රාශියක් තුළ මෙම නැකත සකස් කළ යුතු බව විශේෂයෙන් සඳහන් කර ඇත. දුරුතු මාසය හා වෙසක් මාසය ද උපන් මාසය ද යොදා ගන්නා නැකතට සම්බන්ධ දිනයද හතර, නවය, දාහතර තීථියකට සම්බන්ධ නොවිය යුතුය. පුර පසට සම්බන්ධ දිනයක්ම යොදා ගැනීම මෙහිදී වඩාත් වැදගත් වන බවත් පොතපතෙහි සඳහන් වේ. 

ඒ අනුව පැහැදිලි වන කරුණ නම් කන් විදීම යනු සාමාන්‍යයෙන් අපට අවැසි ඕනෑම ආකාරයට සිදු කරන්නක් නොවන බවයි. එය සංස්කෘතිය තුළ හඳුනාගත හැකි සුවිශේෂී චාරිත්‍රයකි. විශේෂයෙන්ම ගැහැනු දරුවකුගේ ශෝභා සම්පන්න බව මෙන්ම ආරක්ෂාව උදෙසා කන් විද කරාබු යුවළක් පැළඳීම සිදුකළ ද වර්තමාන සමාජය තුළ එය විලාසිතාවන් මැන බලන ප්‍රබල අවශ්‍යතාවයක් වී ඇත. සියලු අපල උවදුරු දුරු කිරීමේ අපේක්ෂාවෙන් සුදුසු ස්ථානය සොයාගෙන, සුදුසු නැකතට කන් විදීම සිරිත වුවද අද තරුණ තරුණියන් අවශ්‍ය ඕනෑම ආකාරයකට, කනෙහි ඕනෑම ස්ථානයක් විද කරාබුවක් පැළඳීම දැකගත හැකිය. විශේෂයෙන්ම තරුණයන් අතර ද මෙය වඩාත් ප්‍රචලිත විලාසිතාවකි. විවිධ මෝස්තර සහිත කරාබු විවිධ අයුරින් පැළඳීම පිරිමි පාර්ශ්වයේ ද අවශ්‍යතාවයක් වී තිබේ. අතීතයේ දී නැකතට සුබ මොහොතින් සිදු කළ බොහෝ දේ අද සාමාන්‍ය ජීවිතයේ එතරම් තැකීමක් නොකරන සාමාන්‍ය දෑ බවට පත්ව තිබේ. ලෝකය වෙනස් වන ගමනෙහි අපද වෙනස් විය යුතු ය. ඒ යහපත් අයුරිනි. කෙසේ වෙතත් අප යමක් නවීකරණය කොට භාවිත කරන්නේ නම් එහි අතීත කතාවව පිළිබඳ අවබෝධයෙන් යුතුව නවීකරණයට සමීප වීම වඩාත් වටින්නේ ය. 

හංසනි දිල්හාරා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
© අසීමාන්තික WEB MAGAZINE


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts