ධීවරයන් හැර යන - සංචාරකයන් හොයාගෙන යන
බත්තලංගුන්ඩුව


                මුහුදින් වට වී ඇති ලංකාවට අයත් මුහුදු සීමාවේ ලංකාවට අයත් දූපත් රාශියකි. ඒයින් වයඹදිග මුහුදේ දූපත් 14ක් පමණ විහිදී තිබේ. බත්තලංගුංඩුව, පල්ලිය වත්ත, වෙල්ල 1, වෙල්ල 2, වෙල්ල 3, උච්චිමුණේ, ඉප්පන්තිව්, පෙරිය අරිච්චල්, සින්නාරිච්චල්, එරමුතිව්, සින්න එරමුතිව්, එරමුතිව් බටහිර, කාකතිව්, සහ මොහොත්තුවාරම එම දූපත් අතරට අයත් වේ. මෙම දූපත් අතුරින් ඉතා සුවිශේෂි දූපතක් ලෙස බත්තලංගුන්ඩුව දූපත හැදින්විය හැකිය. මෙම දූපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුවයි.  ශ්‍රී ලංකා ගොඩබිම් සීමවද නොපෙනෙ තරම් ඈතින් මෙම දූපත පිහිටා ඇත. පුත්තලම දිස්ත්‍රිකයේ කල්පිටිය ප්‍රදේශයෙන් මුහුදු මාර්ගය ඔස්සේ නාවුක සැතපුම් 25ක් දුරින් බත්තලංගුන්ඩුව පිහිටා ඇත. බත්තලංගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53 කි. පල්ලියවත්ත දුපත ඊට යාබදව පිහිටා ඇති දුපතයි. පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89 කි. බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111 ක් පමණය. මෙම දුපත් සමූහයෙන් මොහෝත්තුවාරම, උච්චිමුනේ, බත්තලන්ගුංඩුව සහ පල්ලිය වත්ත යන දුපත් ධීවර ප්රජාව වෙසෙන දුපත් වෙයි. අනෙකුත් දුපත් වසරේ කලකට පමණක් සංක්රමික ධීවරයන් වෙසෙන දුපත් ය. 

            සොබා දහමේ අපූරුතම නිමැවුමක් ලෙස හැඳින්විය හැකි මෙම දුපත් සමූහයේ එක් පසෙකින් පුත්තලම් කළපුවෙනුත්, අනෙක් පසින් මහ සයුරෙනුත් මායිම් වී ඇත. සොඳුරු දසුනින් පිරිපුන් මෙම දුපත් සමූහය සංචාරක ආකර්ශනයට බෙහෙවින් තුඩු දී ඇත්තේ ය. එසේ වී නමුදු අවිනිශ්චිත අනාගතයක් දෝතින් දරාගෙන, ගරා වැටෙන ධීවර දිවි පැවත්මක් දායාද කොට ගත්, ධීවර ප්රජාවක් මෙම දුපත් සමූහයේ දිවි ගෙවන්නෝය. 
මෙම දූපත් අතුරින් බත්තලංගුන්ඩුව දූපත සුවිශේෂි වන්නේ අනෙක් දූපත්වලට වඩා ලංකාව සමඟ සම්බන්ධ වන දූපත වන නිසාය. කල්පිටිය ධීරව වරාය ජැටියේ සිට මගී ප්රවාහන බෝට්ටු දෙකක් මෙම දුපත් කරා ගමන් ගනී. දිනපතා පෙරවරු 8.30 සිට සාමාන්ය මගී ප්රවාහන බෝට්ටු සේවය ආරම්භ වෙයි. පැය තුනකට ආසන්න කාලයකදී දුපත් කරා ළඟා විය හැකිය. සැප පහසු ආසන සහිත සුඛෝපභෝගී මගී ප්රවාහන සේවාවක් ද කි්රයාත්මක වේ. ඒ සඳහා කලින් දින සහ ආසන වෙන් කළ යුතු ය. දුපත් වාසින් තම එදිනෙදා අවශ්යතා රැසක්ම සපුරා ගන්නේ මෙම මගී ප්රවාහන බෝට්ටු මගින් ය. පානීය ජලය, කරවල සඳහා ලූණු, අයිස් සහ ආහාර ඒ අතර වෙයි. බත්තලංගුන්ඩුව දුපත හා පල්ලිය වත්ත දුපත කරා ළඟා වීමේ දී ආණවාසල, ඉරමතෙව්, සින්න අරිච්චල්, පෙරිය අරිච්චල්, ඉප්පන්තීව්, අලිගහ කැලේ, කිඹුලා බොක්ක, ආදි දුපත් රැසක්ම පසු කර යනු ලැබේ. බත්තලංගුන්ඩුව සහ පල්ලිය වත්ත, පිහිටා ඇත්තේ නැගෙනහිරින් සේරක්කුලිය, වනාතවිල්ලූව, එලූවන්කුළම, ගගේ වාඩිය, වෙල්ල මුන්දලම, බටහිරින් එරටිය තීව්, වෙල්ල, කොල්ලන් කනත්ත, පලූගහතුරේ, කුදිරමලේ කන්ද පිරිවරා ගෙනය. දුපතේ ජීවත්වන්නෝ බහුතරය මීගමුව ආශි්රත සංක්රමණික ධීවරයෝ ය. ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කලක් ගෙවී ඇත්තේ බත්තලංගුංඩුව හෝ පල්ලියවත්ත දුපතේ ය. 

            දුපත්වාසින් අතරින් බොහෝ දෙනකු සිංහල සම්භවයකින් යුතු වුවද , දමිළ බස හසුරුවයි. දැනට වියපත්ව පසුවන බොහෝ ධීවරයන්ට නිශ්චිත නමක්, පෙලපත් නාමයක් හෝ උප්පැන්න සහතිකයක්, නොමැත්තේ ය. කිරා, බබා, යකා, රාජු ආදි අන්වර්ත නාම රැසකින් ඔවුන් හැඳින්වේ. වර්තමානයේ දී නම් ක්‍රමයෙන් මෙම දූපත්වාසීන් දූපත් හැරයන තත්ත්වයට පත්ව තිබුණත් අතීතයේ මෙම දූපත් ඉතා සශ්‍රීකව තිබී ඇත. බත්තලන්ගුන්ඩුව දුපතේ මෙන්ම පල්ලිය වත්ත දුපතේ ද ධීවරයන් මෙසේ සිය දුපත් ගම්බිම් හැරදා යාමේ ප්රවනතාව ඉහළ ගොස් ඇත්තේය. වත්මන් ආර්ථික, සාමාජීය පසුබිම දුපතේ ජීවන වියදම ද ඉතා ඉහළ දමා ඇත. ඉන්ධන මිල ඉහළ යාම, අසාමාන්ය ලෙස ඉහළ ගොස් ඇති මුහුදු ඛාදනය මෙම ජනතාවගේ ප්‍රධන ජීවනෝපාය වන ධීවර කර්මානයට විශාල ගැටලුවකි. එසේම මුහුදු ජල මට්ටම ඉහළයාමද වේගයෙන් සිදුවන හෙයින් දූපත්වාසීන්ගේ අනාගතය පිළිබඳව ගැටලුවක් නිර්මාණය කර ඇත. පල්ලිය වත්ත දුපත අසළ තිබූ, මුක්කලේ, සෙත්තු කුඩාව දුපත් මුලූමනින්ම මුහුදු බත් වී ඇත. පල්ලිය වත්ත දුපතින් සම්පූර්ණයෙන්ම වෙන් වී කිඹුලා බොක්ක දූපත අලූතින් නිර්මාණය වී ඇත. වෙල්ල දුපතේ පොල් ගස් තුන්සියයක් පමණ තිබී ඇති අතර අසල්වාසී දුපත්වාසීන්ද පානීය ජලය ලබාගත් ළිඳ ද අද දැකිය නොහැකිය. අතීතයෙදි රෝගි වූ විටක හෝ හදිසි අනතුරකදි පැය තුනක හමාරක දුෂ්කර මුහුදු ගමනකින් අනතුරුව කල්පිටිය රෝහලට ළඟාවිය යුතුය. වර්තමානයෙ නාවික හමුදාව සතු ජෙට් වර්ගයේ අධිවේගී බොට්ටුවක මගින් විනාඩි 20 ක් වැනි කාලයකින් ගොඩබිමට ළගාවිය හැකිය. වර්තමානයේ අසාධ්‍ය රෝගීන් එලෙස ගොඩබිම කරා රැගෙන ඒම සිදුවේ. 

        පල්ලිය වත්ත දුපතේ රජයේ පාසලක් ආරම්භ කොට ඇත්තේ 1979 වසරේය. හැරල් මංචනායක, තෙන්නකෝන් යන උපගුරුවරුන් මෙම පාසල වත්වාගෙන ගොස් ඇත. 1989 මැයි දාහතර වැනි දින එවකට ධීවර ඇමති වූ පෙස්ටස් පෙරේරා දුපත් ජැටියක් විවෘත කොට ඇත. 1990 පල්ලියවත්ත පොලිස් මුරපොළ අරඹා ඇත. අද වන විට පාසලක් නොමැත. සිසුන් ද නැත. පොලිස් මුර පොළේ නටබුන් හැර වෙනත් කිසිවක් දුපතේ ඉතිරිව නොමැත. බත්තලංගුන්ඩුව පාසල ද මේ වන විට වැසී ගොස් ඇත. රජයේ පාසලක් නොවුණු මෙහි 2000 වසරේ අපේරල් 30 දින දී හලාවත කතෝලික සභාව මුල්වී, සෙඩෙක් ආයතනයේ ආධාර ඇතිව හිටපු රදගුරු ගරු ප්රෑන්ක් මාර්කස් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් යළි පාසලක් අරඹා ඇත. ධීවර පවුල් තුන්දහසකට පමණ සෙවණ සැලසූ බත්තලන්ගුන්ඩුවේ අද වන විට පවුල් 100 ක් පමණ වෙති. ක්‍රමයෙන් ජනතාව මෙම දූපත් හුදකලා කර ගොඩබිමට හෝ ඉන්දියාව වෙත සංක්‍රමණය වීම සිදුවේ.

            බත්තලන්ගුන්ඩුවේ ධීවර ජන ජීවිතය අතිශය අසීරු වුවද බත්තලන්ගුන්ඩුව දූපත කෙරෙහි පවතින සංචාරක ආකර්ශනය නම් දිනෙන් දින වැඩිවෙමින් පවතී. දෙස් විදෙස් සංචාරකයින් රැසක් බත්තලන්ගුන්ඩුවේ සංචාරයටම කල්පිටියට පැමිණේ. පැය 3ක පමණ මුහුදු ගමන සහ ලංකා සීමව ඉක්මවා හුදකලා දූපතක තනිවීමේ ආස්වාදය විඳගැනීමට බොහෝදෙනා මෙහි පැමිණේ. වර්තමානයේ දී බත්තලන්ගුන්ඩුව වෙරළ තීරයේ සංචාරකයන් වෙනුවෙන් සංචාරක සමාගම් විසින් රාත්‍රී කදවුරු ආදිය ද සංවිධානය කරනු ලබයි. සංචාරකයින්ගේ නෙතට ප්‍රිය උපදවන දසුන් මවන වෙනස්ම අත්දැකීමක් ලබා ගැනීමට බත්තලන්ගුන්ඩුවේ දී අවස්ථාව ලැබේ. 
ක්‍රමයෙන් ඇදවැටෙන බත්තලන්ගුන්ඩුවේ ධීවර කර්මාන්තය හා බැදුණු දිවිපෙවත යළි ගොඩනැංවීමට සහ අතීතයේ පැවති සශ්‍රීක දූපත් සමූහයක් යළි නිරිමාණය කිරීමට ද  මෙම සංචාරක ආකර්ශනය භාවිතා කළ හැකිය. බත්තලන්ගුන්ඩුව ඇතුලු දූපත් සමූහයේ පහසුකම් යළි වැඩි දියුණු කර මෙම දූපත් තුල සංචාරක කර්මාන්තය නංවාලීම මෙම දූපත්වාසීන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද විශාල සවියකි. 

අන්තර්ජාලය ඇසුරින්.
සචින්ත සෙනරත්


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts