2021 ට ඔබ සූදානම්ද..?
වසරක් අවසන නව වසරක උදාව පිළිගන්නට වෙනදා නම් අප සැරසෙන්නේ සිත පිරි සතුටිනි. එනමුත් ගෙවුණු විස්සයි විස්ස වසර ලෝකවාසී සියල්ලන්ගේම මුවඟ රැඳි සිනහව, සිත පිරි සතුට අපගෙන් දුරස් කළ බව නැවත නැවතත් මතක් කළ යුතු නැත. ගෙවුණු විස්සයි විස්ස වනාහී ජීවන ගමන තුළ අනේක හැල හැප්පීම්, කටුක අත්දැකීම් සහිත කාල වකවානුවකි. තවමත් එහි නිමාවක් නැත. කොවිඞ් 19 නැතිනම් කොරෝනා වසංගතය පිළිබඳ තවත් කියන්නට අවශ්‍ය නම් නැත. කොරෝනා වසංගතය අපට බොහෝ ජීවන පාඩම් කියා දෙන්නට සමත් විය. සාමාන්‍යයෙන් ඒකාකාරීව ගලා ආ අපගේ ජීවන රටාව යම් යම් අයුරින් වෙනස් කරන්නට කුඩා වෛරසයක් සමත් වීම ද පුදුමයකි. වෙනස් වීම වනාහී ලොව ඇති වෙනස් නොවන එකම පොදු ධර්මතාවය හෙයින් ජීවන ගමනට එකතු වන සියලු අභියෝගයන් අප භාරගත යුතුම ය. කෙසේ වෙතත් විස්සයි විස්සට සමුදිය යුතු කාලය එළැඹී හමාර ය. ගෙවුණු 2020 වසරේ ලද සියලු කටුක අත්දැකීම් 2021 ට සුබවාදී ආරම්භයක් කර ගැනීමට කාලය පැමිණ ඇත.
2020 වසර ගෙවුණ ද ඇතැම් විට ඔබ තවමත් අතීත මතකයන් සමඟ දුක්වනවා විය හැකිය. අපට මෙවැනි තත්ත්වයක් තුළ නව වසරක් අරඹමින් ඉදිරියට යා හැකිද...? මෙවැනි දෑ ඔබේ හිතට ප්‍රශ්නයක් වන්නට ඇත. තවමත් ඔබ බැහැ, නැහැ යන ඍණාත්මක සිතිවිලි තුළ සිරවී සිටිනවා විය හැකිය. එසේ නම් ඒ සියල්ලන්ගෙන් දුරස් වී අලුත් සිතිවිලි සමඟ ධනාත්මක ආකල්ප ගොඩනඟා ගැනීමට අප සිතට ගත යුතු ය. ජීවන ගමනට පැමිණෙන බාධා, සීමා හමුවේ අපගේ ගමන සදාකාලිකව නවතා දමන්නට නොහැක. 2020 වසරේ දී අප බොහෝ කාල සීමාවක් සියලු වැඩ කටයුතු අතරමඟ නවතා දැමුව ද තව දුරටත් අපගේ ගමන නවතන්නට ඉඩ දෙනවාද නැතිනම් 2021 වසරේ දී නැවතුණු අපේක්ෂාවන් ඉටුකර ගැනීමට උත්සුක වනවා ද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතු ය. ඔබට විවිධ වූ ජීවන ගැටලු තිබෙන්නට පිළිවණ. ආර්ථික, සමාජීය වශයෙන් ඔබ පීඩා විඳිනවා විය හැකිය. ඇතැම් විටෙක ජීවිතය එපාවන තරමට ඔබ ප්‍රශ්න සමඟ ජීවත්වනවා විය හැකිය. මේ සියල්ල ජීවින ගමන තුළ හිමිවන එක් එක් ජීවන අවස්ථාවන් පමණි. බුද්ධියෙන් සහ සැහැල්ලු මනසින් එකී අවස්ථාවන්ට මුහුණ දීමේ හැකියාව අප ප්‍රගුණ කළ යුතු ය. කොවිඞ් 19 වැනි ලොවම එක ලෙස පීඩා විඳින ජීවන ගමනේ තවත් එක් සංධිස්ථානයක දී ඊට වඩාත් බුද්ධිමත් මනසින් මුහුණ දිය යුතු ය.
2020 වසර තුළ ඔබට අහිමි වූ දෑ පිළිබඳව හෝ බිඳ වැටුණු අපේක්ෂාවන් පිළිබඳ කනගාටු වීම ඵලක් නොවූවකි. විස්සයි විස්ස තුළ සැබෑ කරගත නොහැකි වූ සිහින තුළ තවමත් ඔබ සිහින දකින්නේ නම් 2021 වසර එකී සිහිනයන්ගේ සුබ ඵල ලබන වසර බවට පත්කර ගැනීමට වෙර දැරීම අවැසි ය. මේ සියල්ලටම අප කුමක් කළ යුතු ද...? ගෙවුණු අතීතය තුළ තවමත් ජීවත් වන ඔබ එයට සීමා නොවී එළැඹෙන නව වසර වඩාත් සුබවාදී සිතින් ආරම්භ කරන්නටත්, 2021 වසර සාර්ථක කර ගැනීමට වසර ආරම්භයේම ධනාත්මක ආකල්ප සහිත බුද්ධිමත් මනසින් කටයුතු කරන්නටත් අධිටන් කරගත යුතු ය.
ඔබ සැමට නිරෝගී සුවය සපිරි සුබ නව වසරක් වේවා...
හංසනි දිල්හාරා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
© අසීමාන්තික WEB MAGAZINE
අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න
Comments
Post a Comment