පෙර උන්දම් කියාපාන “පොරොන්දම් ගැළපුම”


විවාහය වූ කලී මානව ජීවිතයේ දී දැකිය හැකි පුද්ගලයා හා සමාජය පිළිබඳ තවත් එක් චර්යාත්මක සංසිද්ධියකි. විටෙක විවාහය යනු විද්‍යාවක් වශයෙන් එච්. ඩී. බල්සැක් විසින් සඳහන් කර තිබේ. එකට ජීවත්වීමේ සහ දරුවන් ලැබීමේ පරමාර්ථයෙන් ස්ත්‍රියක් සහ පුරුෂයෙකු නීත්‍යානුකූල පදනමක් මත ඇති කර ගන්නා බැඳීම විවාහය වශයෙන් හඳුනාගත හැකිය. විවාහය හා බැඳුණු ප්‍රධානතම සාධකයක් වශයෙන් පොරොන්දම් ගැළපීම යන්න සඳහන් කළ හැකිය. ඈත අතීතයේ පටන් සිංහල විවාහයක දී මනාල යුවලගේ පොරොන්දම් ගැළපේ ද යන්න පරීක්ෂා කර බැලීම අනිවාර්ය අංගයක් විය. පෙර භවයේ පතා ආ ආකාරය පෙර උන්දම් වී පොරොන්දම් වී ඇතැයි ගැමියෝ අර්ථකතනය කරති. මෙය වූ කලී දෙපාර්ශ්වයේ කායික, මානසික, සහ ජීව විද්‍යාත්මක පැතිකඩ ගැළපීමේ එක්තරා පරීක්ෂණයක් වශයෙන් ද සඳහන් කළ හැකිය.

පොරොන්දම් බැලීමේ දී පළමුව සිදු කරනු ලබන්නේ නැකැත් පොරොන්දම් පරීක්ෂා කිරීම වන අතර එහිදී ධනය, බලය, සමගිය සහ සැපය ගැළපේ ද යන්න සොයා බැලීම සිදුවේ. දස පොරොන්දම් ගැළපීමෙන් ආරම්භ වී විසි පොරොන්දම්, අෂ්ටකූට පරීක්ෂාව, භෞම දෝෂ පරීක්ෂාව, සුදර්ශන චක්‍ර පරීක්ෂාව, දසා ගැළපුම ආදී වශයෙන් පොරොන්දම් බැලීම සිදු වේ. පළමු පොරොන්දම වශයෙන් නැකැත් පොරොන්දම පරීක්ෂා කෙරෙන අතර නැකැත් ගණනින් විසි හතකි. පළමුව සිදුකරනු ලබන්නේ නැකැත් දෙකෙහි ගැළපීම හෙවත් යෝග්‍ය භාවය පරීක්ෂා කර බැලීම ය. මෙය සීහුම් බැලීම ලෙස හඳුන්වා දෙයි. පොරොන්දම් අතර ගණ පොරොන්දම් බැලීම ද සිදුවේ. ඒ ඒ නැකැත්වලට අදාළ ගණ, යෝනි, වෘක්ෂාදි දශවිධ චක්‍රයක් පවතී. ගණ පොරොන්දම දේව, රාක්ෂ, මනුෂ්‍ය වශයෙන් ආකාර තුනකි. සම ගණ ඉතා සුබ ගැළපීමකි. දේව සහ මනුෂ්‍ය මධ්‍යම වශයෙන් සැලකෙන අතර දේව හා රාක්ෂ ගණ ඉතා අසුබ වේ. එමෙන්ම පහත් ය. මෙය රුධිර ගැළපුමක් සහ ධනය ගැළපුමක් වශයෙන් හඳුන්වා දෙනු ලබයි.

මහේන්ද්‍ර පොරොන්දම වශයෙන් තවත් පොරොන්දමක් වන අතර එහිදී නැකතට අයත් භූත සංඛ්‍යාව සලකා බලයි. මින් දෙපාර්ශ්වයේ දාරක සම්පත් සහ ආයුෂ පරීක්ෂා කරයි. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම තවත් පොරොන්දමකි. අඹු සැමියන් වශයෙන් ජීවත් වීමේදී කාමාශාව, තෘප්තියේ තත්ත්වය මෙහිදී පරීක්ෂා කෙරේ. යෝනි පොරොන්දම තවත් පොරොන්දමක් වශයෙන් හඳුනා ගැනේ. ලිංගික ප්‍රභේද විසි හතක් වන බව පිළිගැනෙන අතර ඒ සඳහා සංකේත වශයෙන් සත්ත්ව නාම භාවිත වේ. එකම වර්ගයකට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්ත්‍රී යෝනි ස්ත්‍රියටත් හිමි වීම ඉතා හොඳ ගැළපීමක් වශයෙන් පිළිගැනේ. රාශි රාශ්‍යාධිපති නමින් පොරොන්දමක් ද මෙහිදී පරීක්ෂා කරනු ලබන අතර එහිදී දෙපාර්ශ්වයේ ජන්ම පත්‍රවලට අයත් ප්‍රභේදයන් සලකා බැලෙයි. ඒ අනුව ලග්න රාශි මෙන්ම චන්ද්‍ර රාශි ද ගළපනු ලබයි. රාශි මඟින් බාහිර සිතුම් පැතුම්, රුචි අරුචිකම් හෙළි කරයි. තවත් පොරොන්දමක් නම් වශ්‍ය පොරොන්දමයි. මෙහි අර්ථය වනුයේ වසඟ කළ හැකිය යන්න ය. එකිනෙකාට යටත් වේද, යටත් නොවේ ද, සමගියට බාධාවක් ඇතිවේ ද, වෙන්වීමක් සිදුවේ ද යන්න සොයා බැලීම මෙම පොරොන්දමෙන් සිදුවේ. රජ්ජු පොරොන්දම ද මෙහිදී හඳුනාගත හැකි තවත් පොරොන්දමකි. මෙමඟින් ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ කායික සම්බන්ධයෙන් ඇතිවන ප්‍රජනන ශක්තීන්ගේ සාර්ථක අසාර්ථකභාවය ගළපා බැලෙයි. මෙහිදී දෙදෙනා රජ්ජු දෙකක වීම මත ගැළපීම සිදුවන අතර එම රජ්ජු වීමෙන් දරුඵල අහිමිව මාරක විපත් ඇති විය හැකි බව සඳහන් වේ.

වේධ පොරොන්දම නමින් පොරොන්දමක් මෙහිදී හඳුනාගත හැකිය. එහිදී නොගැළපීම් ඇත්නම් පෙන්නුම් කරයි. නාඩි පොරොන්දම නමින් පොරොන්දමක් ද පවතී. එහිදී පූර්ව, මධ්‍ය, අන්ත්‍ය වශයෙන් නාඩි ප්‍රභේද තුනක් වන අතර මින් රුධිර ගැළපුම සහ නහර ශක්තිය සලකා බලයි. මෙය ජාන සම්බන්ධ ගැළපීමක් වේ. ලේ ධාතුවේ වා, පිත්, සෙම් සමතාව තුළින් නාඩි ගළපනු ලබයි. වර්ණ පොරොන්දම තවත් එක් පොරොන්දමකි. ජාතියේ වර්ණ තෝරා බේරා දීම මින් සිදු කෙරේ. ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම වර්ණයක වීම වැදගත් ය. ආයුෂ පොරොන්දම නමින් හඳුනාගත හැකි පොරොන්දම මඟින් වැඩි ශේෂය ඇති පාර්ශ්වය වැඩි කාලයක් ජීවත් වන අතර අඩු ශේෂය ඇති පාර්ශ්වය අඩුකල් ජීවත් වන බව ද කියැවේ. එහෙත් නැකැත් රාශි රාශ්‍යාධිපති නාඩි ග්‍රහ ගැළපීම ඇති තැන්වල මෙය වෙනස් වන බව කියැවේ. ලිංඟ පොරොන්දම ද මෙහිදී හඳුනාගත හැකි තවත් පොරොන්දමකි. පුරුෂ ලිංග පුරුෂයාටත් ස්ත්‍රී ලිංග ස්ත්‍රියටත් පැවතීම වඩාත් සුදුසු වේ.

ආය වර්ග පොරොන්දම නමින් ගැළපීමක් ද මෙහිදී පරීක්ෂා කෙරේ. එහිදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ යෝනි එකම කොටසට අයත් වූවොත් අසුභ වන බව සඳහන් වේ. මෙය ද ලිංගික ජීවිතයේ සතුට පරීක්ෂාවට ලක්කරන පොරොන්දමකි. පක්ෂි පොරොන්දම මෙහිදී හඳුනාගත හැකි තවත් පොරොන්දමකි. එහිදී පක්ෂීන් ප්‍රභේද පහක් විග්‍රහ වේ. රාජාලියා, බකමූණා, මොනරා, කුකුළා හා කපුටා මෙහිදී සඳහන් වන අතර ලිංඟික ශක්තියේ ගැළපීම මින් පරීක්ෂා කෙරෙයි. එමෙන්ම පංච භූත පොරොන්දමත් මෙහිදී පරීක්ෂා කෙරෙන අතර වෘක්ෂ පොරොන්දම ද මීට අයත් වේ. වෘක්ෂ පොරොන්දම යනු කායික ශක්තිය දරුඵල ලබන පොරොන්දමක් වන අතර පුරුෂයාට හර වෘක්ෂයක් ද ස්ත්‍රියට කිරි වෘක්ෂයක් ද තිබීම සුදුසු බව කියැවේ. දෙදෙනාම කිරි වෘක්ෂ වීම දරුඵල ලැබීමට වඩාත් සුදුසු වේ. ග්‍රහ පොරොන්දම ද පොරොන්දම් බැලීමේ දී පරීක්ෂා කෙරෙන තවත් පොරොන්දමකි. එහිදී ස්ත්‍රී කේන්ද්‍රයේ ලග්නයෙන් ද, චන්ද්‍රයාගෙන් ද, සිකුරුගෙන් ද, සත් වැන්නේ සහ අට වැන්නේ බල රහිත ග්‍රහයන් ද (කුජ, රාහු, ශනි පාපයන්) සිටීම ද, ලග්නයේ බල රහිතව පාප ග්‍රහයන් සිටීම ද, යන කරුණුවලින් වැඩි කොටසක් ස්ත්‍රී කේන්ද්‍රයේ යෙදී ඇත්නම් පුරුෂයාට විවිධ කරදර, මාරක බාධක දෝෂ, පුරුෂ වියෝව ද ඇති වන බව සඳහන් වේ. මෙවැනි කාරණා පුරුෂ කේන්ද්‍රයේ ද වේ නම් දෙපැත්ත සමබර වනු ඇත. අවසාන වශයෙන් තීරණය ගත යුත්තේ ග්‍රහ පොරොන්දම් නිසි පරිදි ගැළපීම අනුව බව පතපොතෙහි සඳහන් වේ.

ඒ අනුව පොරොන්දම් පරීක්ෂාවේ දී ප්‍රධාන වශයෙන් විසි පොරොන්දම් ගැළපීමක් සිදුවේ. එහිදී දින, ගණ, මහේන්ද්‍ර, ස්ත්‍රී දීර්ඝ, රාශී, රජ්ජු, නාඩි, වශ්‍ය, වර්ණ, යෝනි මෙන්ම රාශ්‍යධිපති, වේධ, වෘක්ෂ, පක්ෂි, ආයුෂ, භූත, ලිංඟ, ගෝත්‍ර, ග්‍රහ, නක්ෂත්‍ර යන දහය ද එක් වීමෙන් විසි පොරොන්දම් සකස් වී තිබේ. වර්තමාන තාක්ෂණික ලෝකය තුළ තරඟකාරී සහ කාර්ය බහුල ජීවන රටාවන් සමඟ විවාහය යන්න ද සරලව දකින සාමාන්‍ය වූවක් වී තිබේ. බොහෝ විට පොරොන්දම් ගැළපීම මත විවාහය සිදු වීම අද නූතන සමාජය එතරම් පිළිනොගනී. එමෙන්ම නූතන විවාහය යනු එක්තරා අයුරකින් විලාසිතා ප්‍රදර්ශනයක් වී තිබේ. එනමුත් නිසි පරිදි පොරොන්දම් ගළපා විවාහය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවන් මෙන්ම ඒ පිළිබඳ විශ්වාස කරන පිරිස් ද අදත් සමාජය තුළ සිටී. කෙසේවෙතත් ඒ පිළිබඳ විශ්වාස කිරීම හෝ නොකිරීම තම තම නැණ පමණින්, තම රුචි අරුචිකම් මත තීරණය වන්නකි. පොරොන්දම් ගැළපුණ ද නොගැළපුණ ද ඔබ අනෙකා සමඟ අවංක සිතින් යහපත් සිතුවිල්ලෙන් හා ක්‍රියාවෙන් යුතුව ජීවත් වන්නේ නම් නොගැළපීම් ගළපා ගනිමින් සතුටින් සිටීමට නිසැකයෙන් හැකියාව ලැබෙනු ඇත.

 

ආශ්‍රිත ග්‍රන්ථය - ශ්‍රී ලංකාවේ සංස්කෘතික දායාද, පීි. ඇම්. සේනාරත්න, 2001


© අසීමාන්තික WEB MAGAZINE

හංසනි දිල්හාරා

ජන සන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය.



අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts