බුලත් හා බැඳුණු ශ්‍රී ලාංකේය සංස්කෘතිය
ශ්‍රී ලාංකේය
සංස්කෘතිය සහ බුලත් හුරුල්ල අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවයකි. අනාදිමත් කාලයක පටන්
බුලත් හා බැඳුණු සංස්කෘතික, සමාජීය මෙන්ම
ජාතික වශයෙන් වැදගත් වන සිරිත් විරිත් ගණනාවක් හඳුනාගත හැකිය. බුලත යනු සිංහල
සංස්කෘතියෙහි වැදගත්කම සහ සශ්‍රීකත්වය පෙන්වන සංකේතයක් මෙන්ම පවිත්‍රත්වයේ සංකේතය
වන බව ජන සම්මත පිළිගැනීම වේ. සිංහලයාගේ ජන ජීවිතය හා සම්බන්ධ සෑම අවස්ථාවකදීම
බුලතට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව,
බුරුමය, පිලිපීනය, පාකිස්තානය, බංගලාදේශය වැනි රටවල ද
බුලත් භාවිත වීම සිදුවේ. කෙසේ වෙතත් සිංහල සංස්කෘතිය සහ ස්වභාව ධර්මය අතර පවතින
අවියෝජනීය සබැඳියාව බුලත තුළින් මනාකොට පිළිබිඹු වේ.
බුලත් හුරුල්ල
එසේත් නැතිනම් බුලත් අතක් වශයෙන් හඳුන්වා දෙනු ලබන්නේ කොළ හතළිහකින් යුතු බුලත්
දෝතකට ය. ඇතැම් අවස්ථාවලදී බුලත් 40කින් යුත් බුලත් අත් භාගයක් භාවිත වීම ද සිදුවේ. ඊට
අමතරව අවශ්‍ය කාර්යයන් මත යොදාගනු ලබන බුලත් ප්‍රමාණයන් වෙනස් විය හැකි ය. බුද්ධ
පූජාව සඳහා බුලත් කොළ 40ක් ද, දෙමව්පියන්ට පිළිගන්වන
බුලත් අතෙහි කොළ 40ක් ද, දේව පූජාව සඳහා බුලත්
කොළ 30ක් ද, ගුරුවරුන්ට පිළිගන්වන
අතෙහි කොළ 30ක් ද, ග්‍රහ පූජාවන් සඳහා
නැකැත් 27 ට අනුව බුලත්
කොළ 27ක් ද, මංගල බුලත් හෙප්පුවේ
බුලත් කොළ 21ක් ද වශයෙන්
භාවිත විය. අතීතයේ සෑම නිවසකම පාහේ බුලත් හෙප්පුව අනිවාර්ය අංගයක් වශයෙන් දැකිය
හැකි විය. ගැමි ජනයා අතර ප්‍රචලිත බුලත් වර්ග ගණනාවක් හඳුනාගත හැකි වූ අතර මල්
බුලත්, නාගවල්ලි,
ගැටතවාලු, හීන් තවාලු, දලු බුලත්, කොරිකං ආදිය ඒ අතර වේ.
බුලතේ උපත
පිළිබඳව විග්‍රහ කර ගැනීමේ දී දළුමුර උපත නම් කාව්‍ය අගනා විස්තරයක් ලබා දෙයි.
සාවෙකු වී උපන් බෝසතුන්ගේ රුව සඳ මඩලේ ඇඳ හමාර වූ ශක්‍රයා තෙලිකූර (පින්සලය) ගුවනට
හෙළුෑ විට එය නා ලොවට වැටී මුචලින්ද නා රජුගේ මුවේ රැඳුණු බවත් එයින් නා රජු මිය
ගිය බවත් සඳහන් කරයි. සෙසු නාගයෝ මුචලින්ද සිරුර දවන විට නාග බඳින් බුලත් වැලක්
හටගත් බවත් පෙණයෙන් බුලත් කොළ ඇති වූ බවත් දැක්වේ. බුලතට නාගවල්ලි යන නාමය ඇති
වූයේ එය හේතුවෙන් වන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. කැලණියේ සිදු වූ චූලෝදර මහෝදර නා
රජුන්ගේ සංග්‍රාම අවස්ථාවේ දී නා ලොවින් මිනිස් ලොවට බුලත් ගෙනෙන ලදි. එහිදී උමා
දේවිය බුලත් වැලක් රෝපණය කොට ඉක්බිතිව බුලත් ලොව පුරා පතුරුවා හැරියා ය. පොළොව මෙම
භෝගය ලැබූ හෙයින් බුලත් යන නාමය ඊට ලබා දුන් බව තවත් සමහරෙකුගේ අදහසකි. ඒ අනුව නා
ලොවින් භූමියට ලැබුණු යන අර්ථය ඇතිව භූ + ලත් ‐ බුලත් වශයෙන් සකස් වූ බව සඳහන් වේ. දළුමුර උපත පිළිබඳ හඳුනා ගැනීමේ දී එය,
කොළත් මලුත්
මිස ගෙඩි නැත මේ කපට
දලුත් කොළත්
මල් එක සරි කෑමට
මෙ ලක් භූමියේ
පැළවුණි අළුපිට
බුලත් නම කියා
තිවුණා රජසිට
ලෙස කාව්‍යයන්
තුළ විග්‍රහ වේ. එමෙන්ම බුලත් කොළය නාගයකුගේ පෙණයේ හැඩය සේ පෙනෙන බැවින් බු + ඉලත්
‐ බුලත් වී ඇති බව තවත් මතයකි. ඉලත් යනු දමිළ භාෂාවෙන් කොළය යන අර්ථයයි. සංස්කෘත භාෂාවෙන් බුලත්වලට භූලතා යන නම ලැබී ඇත. අතීත ගැමියා බුලත් ආහාරයට ගැනීමට පෙර මුල හා අග නැට්ට කඩා ඉවත්
කිරීම කරනු ලබන්නේ නාග ලොවින් නාගයන් මුවේ තබාගෙන ආ බැවින් එහි විෂ ඇතැයි ගැමියන්
විශ්වාස කරන බැවිනි. බුලත කඩනු ලබන්නේ නියෙන් වන නිසා එහි විෂ ඇතැයි ද ගැමියෝ
කියති. තවත් අදහසක් නම් බුලත් කොළයේ මකුළු දැල් බඳින්නේ නැට්ටේ වන බැවින් එය ඉවත්
කළ යුතුයි යන්න ය.
අතීතයේ දී
බුලතට සුවිශේෂී ස්ථානයක් හිමි වූ බව අතීත තතු විත්ති විමසීමේ දී පැහැදිලි වේ.
බුලත් ආහාරයට ගැනීම ඈත අතීතයේ පටන් සමාජ චාරිත්‍රයක් වශයෙන් පැවතිණි. මහාවංශයට
අනුව සිංහල ආහාර රටාවේ අමතක කළ නොහැකි අංශයක් වනුයේ බුලත් කෑම ය. පෙර පටන් පැවැති
චාරිත්‍රයක් වූ මෙය රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වා ප්‍රචලිත වූවකි. එමෙන්ම ස්ත්‍රී
පුරුෂ භේදයකින් තොරව බුලත් ආහාරයට ගැනීමේ සිරිතක් ලාංකිකයන් තුළ දැකගත හැකි විය.
“ අන් හැම
දෙයකටම වඩා ඔවුහු බුලත් හැපීමට ආශා ඇත්තෝ ය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවා
ගන්නා ඔවුහු අවදි වන විටත් එහි හපය සුරැකිව මුව තුළ ඇත්දැයි පරීක්ෂාකාරීව බලති.
නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා සිටින්නට නම් නොහැකි ය ”
වශයෙන් රොබට්
නොක්ස් විසින් සඳහන් කර ඇත. එමෙන්ම සෙල්ලිපිවල ද බුලත පිළිබඳව විග්‍රහ වීම දැකගත
හැකිය. නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩප නම් ලිපිය මෙයට කදිම නිදසුනකි.
බුලත්වල ගුණය ජේම්ස් ද අල්විස් පඬිතුමා විසින් සිලෝවකින් මෙසේ ප්‍රකාශ කරයි.
බුලත මිහිර
තිත්වේ කාර කාසා කුළුත්වේ
පණු දුගඳ
කොසුත්වා සෙම් නසාවත් සරාලයි
මළහැර මනයෝනා
ගින්න දල්වයි බුලත් හී
ගුණ තෙළෙසක
මින්වේ දෙව් ලොවේ වත් සුදල් බෝ
ඒ අනුව
බුලතෙහි ගුණ තෙළෙසක් (13)ක් ඇති බව මෙම
සිලෝව තුළින් විග්‍රහ වෙයි.
එමෙන්ම සිංහල
සංස්කෘතිය සහ බුලත අතර ගොඩනැගී ඇත්තේ ඓතිහාසික සබඳතාවයකි. සිංහල රජවරුන්ට බුලත්
සැපයීම සඳහා වෙන් වූ බුලත් ගම් 500ක් තිබූ බව මන්දාරම්පුර පුවතෙහි සඳහන් වේ. දඹදෙණි පුවතෙහි
සඳහන් වන්නේ බුලත් ගම් 300ක් පැවති
බවයි. රජුට බුලත් සැපයීම හේතුවෙන් බුලත්සිංහල නම ලැබුණු බවත් ඉතිහාසය සඳහන් කරයි.
පෙර රජ දවස කන්ද උඩරට කුලවතෙක් හෝ කුල කතක් සමාව දිය නොහැකි බරපතල වරදක් කළ විට
රොඩී රැහැනකට දීම හෙවත් රොඩියෙකුගේ බුලත් එම කුලවතාට හෝ කුලවතියට බලහත්කාරයෙන්
කැවීම සිදු විය. මෙය වඩාත් ප්‍රබල නින්දාවක් වූ අතර ඉන්පසු ඔහු හෝ ඇය රොඩියෙකු ලෙස
පිළිගෙන පහත් කොට සැලකීම උඩරට සිරිත විය. වැඩිහිටියන්ට හා දෙගුරුන්ට ගරු බුහුමන්
දැක්වීම, බුලත් දීම,
සමාව ඉල්ලීම, සමාව දීම, ආරාධනා කිරීම ආදී ශ්‍රී
ලාංකේය සංස්කෘතියේ සෑම චාරිත්‍රයක් හා සමඟ බුලත බැඳී පවතී.
විශේෂයෙන්ම
විවාහය හා සම්බන්ධ බොහෝ අවස්ථාවන්හි බුලත යන්න වඩාත් සුවිශේෂී වේ. සිංහල ජන සම්ප්‍රදායෙහි
සම්මත වූ නෑනා මස්සිනා විවාහය වෙනුවට වෙනත් විවාහයකට මුල පිරූ අවස්ථාවක දී මස්සිනා
විසින් නෑනා පිළිබඳ තමාගේ අයිතිවාසිකම ප්‍රකාශ කළේ ය. “ඇවැස්ස මස්සිනා මමයි
බොලන්නේ - කඩුලු බුලත් අත දීලයි යන්නේ ” යනුවෙන් කඩුල්ල අසල හිඳිමින් මස්සිනා ප්‍රකාශ
කරන අතර නෑනා විසින් කොළ 100 කින් යුතු
බුලත් හුරුල්ලක් දී තමා වෙනත් ස්වාමියෙකු හා යාමට අවසර ගත යුතු විය. හෙළ සිරිත තුළ
මනාලයා විසින් මනාලිය බැලීමට මුල් වරට පැමිණෙන අවස්ථාවේ දී මනාලිය මනාලයා ඉදිරියට
පැමිණෙන්නේ සුදු රෙදි කැබැල්ලකින් වැසූ බුලත් හෙප්පුවක් අතැතිව ය. එසේ පැමිණ බුලත්
හෙප්පුව මනාලයාට පිළිගැන්වූ පසු මනාලයා විසින් ඉන් බුලත් කොළයක් ගැනීමෙන් මනාලයාගේ
කැමැත්ත සංකේතවත් කරයි. මෙහිදී බුලත් කොළ 21ක් සහිත බුලත් හෙප්පුවක් භාවිත කරයි. පුරාණ
විවාහවලදී බුලත් හෙප්පුව මනාලයාගේ යහපත් ගතිගුණ මැන බැලීමට ද යොදා ගැණිනි. එහිදී
බුලත් ආහාරයට ගන්නා ආකාරයෙන් පැරැන්නන් යහපත් පුද්ගල ගතිගුණ පිළිබඳ අනාවැකි සඳහන්
කරන ලදි. මංගල අවස්ථාවේ දී මනාලයාට අවශ්‍ය යම් යම් දේ තහනම් කිරීම අතීතයේ ගැමි
ජීවිතයේ පැවති තවත් ලක්ෂණයකි. එහිදී බුලත තහනම් කොට මනාලියගේ පිරිස තහංචි කවියක්
කියනු ලැබිණි. මෙම තහංචිය අවලංගු කිරීමට මනාලයාගේ පිරිස ද ඊට විරුද්ධව කවියක්
කියනු ලැබී ය. මඟුල් පෝරුවේ දී මනාල යුවල සිය වැදගත් ඥාතීන්ට බුලත් හුරුළු පිළිගැන්වීමේ
ක්‍රමයක් පවතියි. ඉන් අදහස් වන්නේ ඥාති සබඳතා ආරක්ෂා කිරීමේත්, වර්ධනය කිරීමේත් බලයක්
මෙම බුලත් හුරුළු දීමෙන් ඇතිවන බව ය. මංගල යුවළ සඳහා ඉදිවන පෝරුව මත බුලත්
තැබීමෙන් මනුෂ්‍යත්වය වගා වීම නොහොත් වර්ධනය වීම අදහස් කරයි.
මංගල අවස්ථාවේ
දී මෙන්ම අවමංගල අවස්ථාවේ දීත් බුලත සමාජයෙන් වෙන්කළ නොහැකි තරමට ලාංකික ජීවිතයට
බැඳී සිටියි. අවමංගල්‍යයකදී බුලත් පිළිගන්වනු ලබන්නේ යටිපස උඩුකුරු කිරීමෙනි. එය
කනගාටුවේ සහ සංවේගයේ සංකේතයක් බවට පත්වෙයි. ඇතැම් ප්‍රදේශවල පුද්ගලයෙකු මියගිය පසු
මුඛයට බුලත් කොළයක් ඇතුළු කරනු දැකගත හැකි ය. ඇතැමුන් පෙරේත තටුවට පවා බුලත් විටක්
තැබීම සිදු කරයි. ආදිවාසයෙකු මියගිය පසු ඔහු සතුව තිබූ බුලත් ආහාරයට නොගැනීම හෝ වළ
දැමීම ද සමාජය තුළ දක්නට ලැබේ. එමෙන්ම නිවෙසට පැමිණෙන ඕනෑම අයෙකුට බත බුලතින් සංග්‍රහ
කිරීම අතීතයේ සිට පැවත එන සිරිතකි. සමාජයේ ඉහළින් පිළිගන්නා ප්‍රභූවරයෙකු බැහැ
දැකීමේ දී බුලත පෙරටුකර ගනී. එවැන් තැනැත්තෙකුට ඉහළින් සහ පහළින් දෙහෙප්පුවක්
පිළිගැන්වීම සාමාන්‍ය ක්‍රමවේදයයි. ඉහළ හෙප්පුවෙන් බුලත් පිළිගනී නම් කැමැත්තෙන්
ආරාධනාව පිළිගැනීමත් පහත හෙප්පුව පිළිගන්නේ නම් අකමැත්තෙන් වුව ද ආරාධනාව
පිළිගන්නා බව සන්නිවේදනය කරයි.
විශේෂයෙන්ම ශ්‍රී
ලාංකේය සංස්කෘතියේ ඉහළින් සමරනු ලබන සිංහල හින්දු අලුත් අවුරුද්දේ දී සිය වැඩිහිටි
දෙගුරුන්ට බුලත් හුරුළු දී වන්දනා කිරීමෙන් වසර පුරා ආශිර්වාදය ප්‍රාර්ථනා කරයි.
ගැමි සමාජය තුළ අදටත් පවතින චාරිත්‍රයක් නම් සුබ මොහොතින් දරුවාට අකුරු කියවීම ය.
එහිදී මව්පියන් ගුරු ගෙදරට හෝ ගමේ උගත් අයෙක් වෙත හෝ පන්සලේ භික්ෂූන් වහන්සේ වෙත
දරුවා රැගෙන යන්නේ බුලත් හුරුල්ලක් පෙරදැරිකර ගනිමිනි. අකුරු කියවීමට පෙර ගුරු
භක්තිය පිළිබිඹු කිරීමට බුලත් හුරුල්ල පිළිගන්වා අනතුරුව අකුරු කියවීම සිදු කරයි.
ගණදෙවි හෑල්ලෙහි මේ පිළිබඳව විග්‍රහ කරනුයේ මෙසේ ය.
තනා පස් රස මියුරූ
කුසුම් හැම ඇඟ
තැවරූ
දෙවා බුලතුත් කපුරූ
තමා ඉස දෙපය
දැරූ
සිංහල ජන
සම්ප්‍රදාය තුළ වෙදුන් බැහැ දැකීමේදී ද බුලත් හුරුල්ලක් පිළිගැන්වීමෙන් පසු ප්‍රතිකාර
ලබා ගැනීම සිදුවේ. දෛවඥයකුගෙන් උපදෙස් ලබා ගැනීමේදී ද බුලත් හුරුල්ලක්
පිළිගැන්වීමට ගැමියා අමතක නොකළේ ය. බුඳුන් උදෙසා කරනු ලබන පූජාවල දී ගාථා පාඨයක්
මඟින් බුඳුන් පිදීම බෞද්ධ ජීවිතයේ ප්‍රමුඛ කරුණකි. බෞද්ධයා විසින් එය දැහැත් පිදීම
වශයෙන් හඳුන්වා දෙයි. සාංඝික දානයකට, පිරිත් දේශනයකට, පාංශකූලයකට මහා සංඝයාට ආරාධනා කරනු ලබන්නේ
බුලත් දීමෙනි. තොවිල් ආදියේදී මල් බුලත් පිදීම ද යකැදුරන් විසින් සිදුකරනු ලබයි.
දේව පූජා ආදිය පවත්වනු ලබන්නේ ද බුලත මුල්කර ගත් වතාවත් සිදු කිරීමෙනි. එමෙන්ම
බුලත් කොළ වර්ගයක් ලෙස මතුරා කෑමට දීම, තෙල් මතුරා ශරීරයේ ආලේප කිරීම හෝ තැවීම සඳහා යොදා ගැනීම
ද සිදු කෙරිණි. බුලත් දළු පිරිත් මණ්ඩපවල ඉහළ එල්ලීම, නිමිති බැලීම හෝ සාස්තර ඇසීම සඳහා භාවිත
කිරීම, සෙනසුරු අපල
ආදිය සඳහා පහන්, කිරිබත් බුලත්
කොළ මත තැබීම ද දැකගත හැකි ය. ඊට අමතරව දමිළ සංස්කෘතිය තුළ හනුමන්ට බුලත් කොළ මාල
පැළඳවීම මෙන්ම පුද පූජා සඳහා බුලත් කොළ මත පඬුරු ආදිය තැබීම ද මෙහිදී දැකිය හැකි
වේ.
අතීතයේදී තොල්
වර්ණ ගැන්වීම සඳහා මෙන්ම මුඛය සුවඳවත් කිරීමට හෙළ කාන්තාව බුලත් භාවිත කළ බව පෙනේ.
බුලත් සැපීමෙන් තොල් රත් පැහැ ගන්වා ගැනීමට අතීත සමාජය පුරුදු වී සිටි බව පැහැදිලි
ය.
කපුරු බුලතින්
රත්
ලවනත වතළ පැහැපත්
පියුම්
රාමිණි වත්
දසන් අග
මඳහසින් සිත් ගත්
වශයෙන් සිරි
රහල් මා හිමියන් ඒ බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම
ශ්‍රීමත් වාත්ස්‍යායණාචාර්යන්ගේ කාම සූත්‍රයෙහි කතගේ හිත දිනීම පිළිබඳ මෙසේ
සඳහන් වේ.
“ යුවතිය වැළඳ
ගැනීම ඉවසා සිටින්නේ නම් පෙම්වතා ඇගේ කටෙහි බුලත් විටක් තැබිය යුතු ය. ඇය එය
නොපිළිගනියි නම් ඉතා මිහිරි බසින් එය පිළිගන්නා ලෙස පෙරැත්ත කළ යුතු ය. බුලත් කවන
අතර ඉතා ආදරයෙන් මොළොක් ලෙස ඇගේ මුව සිඹගත යුතු ය. ”
සංවාසයෙන්
පසුවත් බුලත් විටක් ආහාරයට ගත යුතු බව මෙහි තව දුරටත් සඳහන් වන අතර බුලත් විට
පෙම්වතුන්ගේ කාමරයෙහි තිබිය යුතු අත්‍යවශ්‍ය දෙයක් බව ද සඳහන් වේ. ශ්‍රී ලාංකේය
සංස්කෘතිය වනාහී ස්වභාව ධර්මය හා සමීපව ගොඩනැගුණකි. බුලත හා බැඳුණු ලාංකේය
සංස්කෘතිය ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වූවකි. ඒ අනුව බුලත හා බැඳි සිරිත්, පිළිගැනීම්, සම්මතයන්, විශ්වාස ආදිය මඟින් ශ්‍රී
ලාංකේය සංස්කෘතිය වඩාත් පෝෂණය වී ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ හැකි ය.
© අසීමාන්තික WEB MAGAZINE
හංසනි
දිල්හාරා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
Comments
Post a Comment