මහගම සේකර නම් වූ ඔහු


“මා ගීත රචනයට ඇබ්බැහි වූයේ කෙසේදැයි ඉඳුරා කීමට මට නුපුළුවන. මා කුඩා කාලයේ මගේ නෑදෑයො ගමේ නාට්‍ය ශාලාවක් ගොඩනංවා කොළඹින් හා මීගමුවෙන් නාට්‍ය කණ්ඩායම් ගෙන්වා එහි නාට්‍ය සන්දර්ශනය කරවීය. එකල ‘ටීටර්’ නමින් හඳුන්වන ලද ඒ නාට්‍යවලදී ‘බෙන්ජමින් ප්‍රනාන්දු’, ‘සෙබස්තියන් පීරිස්’ ආදී නළුවෝ අත්‍යාලංකාර ගීත ගායනා කළහ. ඔවුන්ගේ ගැයූ ගීතවල ඇතැම් කොටස් තවමත් මට මතක ඇත.”  විශිෂ්ඨ නිර්මාණකරුවෙකු තමාගේ ග්‍රන්ථකට ලියූ පෙරවදනක කොටසකි මේ. ඔහු සිංහල ගීත සාහිත්‍යයද, කවිය ද නව මාවතකට යොමු කරවන්නට සමත් වූ විශිෂ්ඨයෙකි. ගීත රචකයෙකු ලේඛකයෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු ලෙස කලා කෙත පෝෂණය කළ ඔහු මහගම සේකර නම් වේ. මහගමසේකරයන් පිළිබද අතීතාවර්ජණයකි මේ.

1929 අප්‍රේල් මස 7 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ රදාවාන ගම්පියසේ දී මහගමගේ ජෝන් අප්පුහාමි මහතාටත් රණවක ආරච්චිගේ රොසලින් නෝනා මහත්මියටත් පුතු වෙමින් මහගමසේකරයන් මෙලොව එළිය දුටුවේය. 1934 දී රදාවාන පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මහගමසේකරයන් 1939 දී කිරිදිවැල රජයේ මිශ්‍ර පාස‍ෙලන් සිය ද්වීතක අධ්‍යාපනය ලැබීය. පොත් පත සමඟ හා කලාව ඇසුරු කරමින් ගම්පියසේ සුන්දර ළමා කාලය ගෙවූ මගම සේකරයන් උසස් අධ්‍යාපනය සඳහා යොමුවිය. පසු කළෙක මහගමසේකරයන් සිය පාසල පිළිබද මතකය කවියට නගා තිබුණේ මෙලෙසිනි.

කලාතුරකින් දවස්ක ගමට යන විට

අපේ පරණ ඉස්කෝලය පෙනෙයි මට

සිංහල උළු සෙවිලි කල ඒ වහල යට

සඟවා තිබේ මගෙ ජීවිතයේ සතුට

ඈත අහස දෙස දෑස හෙලා

කොලුවෙක් සිටී පන්තියක් කෙලවරට වෙලා

ගහකොළ කියන දේ ඇසෙන් මුත් කනට

ගුරුතුමා කියූ දෙය නෑසෙයි ඔහුට

ඔහුගේ මුහුණ හොඳ හැටියට

ඉන්නේ මා යැයි සැක සිතෙයි මට

පවුලේ එකම දරුවා වූ මහගම සේකර සිය මවට අසීමිතව ආදරය කළේය. ඔහු තම මව පිළිබද පවසන්නේ මෙලෙසිනි.

ගල්වා හිසෙහි තෙල් යහමින්

එල්ලා කරෙහි පංචායුධය

අල්ලාගෙන අතින් මා

පාසලට එක්ක ගිය

අකුරු නූගත් අම්මා ඔබය

ඇවිද ලදු දෙණි කැලෑ බිම්වල

රැගෙන විත් තුන්හිරිය පන්‍ කොළ

යොදා කුකුල් සායම්

රතු හා කොළ

රටාවක් බව මේ මහා විශ්වයම

කුඩා කල සිටම මට

කියා දුන් අම්මා නුඹය

 

1944 දී සිංහල ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගය සමත් වූ ඔහු රජයේ ලලිත කලායතනයට ඇතුළත් විය. 1945 දී රජයේ ලලිත කලායතනයෙන් චිත්‍රකර්ම ගුරුවරයෙකු වශයෙන් සමත් වී 1950 දී නිට්ටඹු ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු විය. 1951 දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහතික පත්‍ර විභාගය සමත් වීමට සමත් වූ මහගමසේකරයන් 1953 වර්ෂයේදී කොළඹ රාජගිරිය හේවාවිතාරණ විදුහලේ චිත්‍රකර්ම ගුරුවරයා වශයෙන් සිය ගුරු වෘත්තිය ආරම්භ කර තිබේ.

සේකරයන් කලාවට යොමුවන්නේ සිය පියාගේ අඩි පාරේ යමින්ය. සේකරයන්ගේ පියා ගමේ සිටි දක්ෂ කලාකරුවෙකි. සැරසිලි හා පින්තාරු ශිල්පියෙක් මෙන්ම නාඩගම් ශිල්පියෙකි. මහගමසේකර සිය තුංමං හන්දිය කෘතියේ පවසන ගමේ සිටිව කලාකරුවා ඔහුගේම පියා ඇසුරින් ගොඩනගන්නට ඇතැයි විචාරකයින් ද පවසයි.

කේ ජයතිලකයන්ගේ දෛවයෝගය විචාර කෘතියට පිට කවරය නිර්මාණය කිරීමට මේ අතරවාරයේදී මහගමසේකරයන් ට අවස්ථාව ලැබී තිබේ. 1956 දී ‘ආතර් කොනන් ඩොයිල්ගේ’ ‘වයිට් කම්පැනි’ නම් කෘතිය ‘ධවල සේනාංකය’ නමින් පරිවර්තනය කිරීමට මහගමසේකරයන් කටයුතු කරන ලදී.

තම ප්‍රථම වේදිකා නාට්‍ය වූ ස්වර්ණතිලකා නිර්මාණය කළේ 1959 වර්ෂයේ දී ම පුංචි අයට කයි-කතන්දර නමින් ළමා කෘතියක් පළ කිරීමට සේකරයන් සමත්වී තිබේ. මහගමසේකරයන් ළමයින් වෙනුවෙන් නිර්මාණ රැසක් සිදුකර තිබේ. එම නිර්මාණවලට තම ජීවිත අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය කළ බව මහගමසේකරයන් පවසා තිබේ.

1960 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයකු ලෙස සේවටය එක් වන මහගමසේකරයන් ගීත රැසක්ම රචනා කරන්නේ මෙම අවධියේ දී ය. ගීත රචකයෙකු වීම තම දිවියේ එක් අරමුණක් ඉෂ්ඨ වීමක් බව මහගමසේකරයන් සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම පවසා තිබේ. 1960 වර්ශයේ දී ම කේ. ජයතිලකයන් සමග එක්වෙමින් ව්‍යංගා නමින් කාව්‍ය කෘතියක් නිර්මාණය කිරීමට ද මහගමසේකරයන් සමත් වේ. 1961 වර්ෂයේ දී ‘සද්දන්ත හා තවත් නාටක’ නමින් කෘතියක් රචනා කළ මහගම සේකර 1962 වර්ශයේ දී ‘මුහුදු පුත්තු වේදිකා නාට්‍ය’ නිර්මාණය කරන ලදී. ඒ ගුණසේන ගලප්පත්ති සමගිනි. මහගමසේකරයන් නිර්මාණය කළ ‘චෝර පබ්බත’ වේදිකා නාට්‍ය සංස්කෘතික අමාත්‍යාංශය මගින් පැවැත් වූ සමස්ත ලංකා නාට්‍ය තරඟයේ දී ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. 1962 වර්ෂයේ දී ම ලන්ඩන් ඒ. බී ගෞරව උපාධිය හිමි කර ගැනීමටද මහගමසේකරයන් සමත් වේ. 1964 වර්ෂයේ දී ‘මක් නිසාද යත්’ කාව්‍ය ග්‍රන්ථය ප්‍රකාශනය කිරීම මහගහගමසේකරයන් කටයුතු කරයි.

1966 වර්ශය සේකරයන්ට සුවිශේෂි වර්ශයකි. සිය ප්‍රථම සරසවි සම්මානය දිනාගැනීමට මෙම වර්ශයේ දී මහගමසේකරයන්ට අවස්ථාව ලැබී තිබේ. ‘සාරවිට’ චිත්‍රපටයට ලියූ ‘මේ සිංහල අපගෙ රටයි’ ගීතය ට වසරේ හොඳම ගීත රචනයට හිමි සරසවි සම්මානය ලබා ගැනීමට මහගමසේකරයන් සමත් වේ.

1967 දී තුමන්මං හන්දිය නමින් නවකතාවක් නිර්මාණ කර ඇත. මාගම සේකරයන් ගේ නවකතා ගොන්නේ එන ඉතා විශිෂ්ඨ නවකතාව මෙම තුංමං හන්දිය ග්‍රන්ථයයි. 1968 දී තුන්මං හන්දිය ග්‍රන්ථය ඇසුරින් තුංමං හන්දිය චිත්‍රපයට නිර්මාණය කිරීමට මහගමසේකරයන්ට හැකිවේ.  එදා මෙදා තුර ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙස මගම සේකරයන් විසින් තමන් උපන් ගම ආශ්‍රය කර ගනිමින් නිර්මාණය කළ තුංමං හන්දිය චිත්‍රපයට ඉතාමත් විශිෂ්ට බව බොහෝ විචාරකයින්ගේ පැසසුමට ලක්වී තිබේ.

1969 වර්ෂයේදී සිය දෙවන සරසවි සම්මානය දිනා ගැනීමට සේකරයන් සමත් වේ. ඒ  ‘සත් සමුදුර සමුදුර’ චිත්‍රපටයේ ‘සිනිදු සුදු මුදු තලාවේ’ ගීත‍යේ පද රචනය වෙනුවෙන් සරසවි සම්මා සම්මානය දිනා ගනිමින්ය. 1970 වර්ෂයේදී තුංමංහන්දිය චිත්‍රපටය අධ්‍යක්ෂණය හා ප්‍රචාර යන අංශ දෙකටම සම්මාන දිනාගැනීමට මහගමසේකරයන් ට හැකිවිය.

1971 වර්ෂයේ දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක්වන මහගමසේකරයන් එම වර්ෂයේදීම රජයෙන් ලද කලා ආයතනයේ විදුහල්පති තනතුර ද හෙබවීය.

1972 වශයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් පිරිනැමූ වසරේ හොඳම පද්‍ය සංග්‍රහයට හිමි සම්මානය දිනා ගන්නෙ ‘බෝඩිම’ නම් කාව්‍ය ග්‍රන්ථයයි. එය ද සේකරයන්ගේ තවත් විශිෂ්ට පද්‍ය ග්‍රන්ථකි. එසේම චෙකොස්ලෝවැකියාවේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී හා රුසියාවේ ටෂ්කන්ට් චිත්‍රපට උළෙලේ දී තුන්මං හන්දිය සිනමා නිර්මාණය වෙනුවෙන් සම්මාන දිනාගැනීමට සේකරයන් සමත් වන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කරදෙමින්ය. 1973 වසරේ දී ශාස්ත්රපති උපාධිය හිමිකර ගන්නා  මහගමසේකරයන් එම වර්ෂයේ දී ම ‘නොමියෙමි’ පද්‍ය ග්‍රන්ථය රචනා කරන ලදී. සේකරයන් සිය කාව්‍ය නිර්මාණයන් සදහා පැරණි කාව්‍ය සම්ප්‍රදාය මෙන්ම නිසදැස් කවි හා ජන කවි ද ඇසුරු කරගෙන ඇත.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන අසත්‍ය බව ක්‍රියාවෙන්ම පෙනුවූ මහගමසේකරයන් 1976 ජනවාරි මස 14 වන දා  දැවැන්ත සාහිත්‍ය හා කලා මෙහෙවරක් නිමා කරමින් සිය දිවි ගමන නිමා කලේ අපට විශිෂ්ඨ නිර්මාණ රැසක් ඉතිරි කරමිනි.

 

තොරතුරු අන්තර්ජාලය හා විජය පුවත්පත් ඇසුරින්

© අසීමාන්තික WEB MAGAZINE


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts