ජලභීතිකාව හෙවත් ප්‍රචණ්ඩත්වය

 

ජලභීතිකාව යන නම ඇසෙත්ම දැඩි බියක් ඇතිවේ. ප්‍රචණ්ඩත්වය යන අර්ථය දෙන ලතින් තේරුමින් මෙය Rabie  ඉංග්‍රීසි භාෂාවෙන් හැදින්වෙයි. ජලභීතිකාව රේබිස් නම් වෛරයස මගින් ඇතිවේ. ශ්‍රී ලංකාව තුළ මෙම රෝග‍යේ වාහකයින්  ලෙස වනාන්තර තුළ ජීවන්වන මුගටියන් ක්‍රියා කරන අතර සමහර රටවලින් වවුලන්ද මෙම රෝග වාහකයින් ලෙස ක්‍රියා කරයි. මෙම සතුන්ගේ සපා කෑමෙන් ඇති වන තුවාලය ඔස්සේ රෝගය තවත් සතුන්ට, මිනිසුන්ට බෝ වීම සිදු වේ. මහා මාර්ගවල නිදැල්ලේ හැසිරෙන බල්ලන් හට මෙම රෝගය වැළදුණු පසු එම සතුන් මිනිසුන් සපා කෑම නිසා මිනිසුන්ට මෙම රෝගය බෝ වීම සිදුවේ. එසේම මෙම වෛරසය සම හරහා සෘජුව ශරීරගත වීමක් සිදුනොවේ. සමේ ඇති තුවාල සීරීම් වැනි ස්ථනවලන් ද ඇස් වැනි ශ්ලේෂම පටල ඇති ස්ථානවලින් සතුන්ගේ ලෙවකෑමේදී තැවරෙන ඛේයට ඔස්සේ ද මිනිස් සිරුරට ජලභිතිකා වෛරස ඇතුල් වීම සිදුවේ.

වෛරසය ශරීරගතවූ සැණින් එම ස්ථානයේ ගුණනය වීම සිදුවේ. ඉන් අනතුරුව වෛරසය ආසන්නයේ පවතින චාලක ස්නායු හෝ සංවේදක ස්නායු අන්තවලට ඇතුළු වන අතර මෙසේ ඇතුළු වූ රෛසය ස්නායුවල අක්සනය දිගේ මධ්‍ය ස්නායු පද්ධතියටද ඇතුළු වේ. එහිදී ස්නායු තුළ ඉතා විශාල වශයෙන් ගුණනය වන මෙම වෛරසය හේතුවෙන් සිදුවන්නේ මානසික තත්ත්වය වියවුල් වීම සහ මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමයි. ස්නායු අතර වන උපාගම අතරින් වෛරස මධ්‍ය ස්නායු පද්ධතියේ සිට විවිධ ස්නායු ඔස්සේ ගමන් කරමින් ඒවායේ ක්‍රියා අකර්මණ්‍ය කරයි.

මෙලෙස ස්නායු ඔස්සේ ගමන් කරන වෛරසය කංකාල පේෂි, හෘද පේශී වෙතද බලපෑම් කරනු ලබයි. මේ කාලය වනවිට ඛේට ග්‍රන්ථි තුලද වෛරසය ජනන වන අතර එය රෝගය තවත් අයෙකු වෙත පැතිර යෑමට ඉවහල් වේ. වෛරසය ශරීරගතවූ පසුව රෝග ලක්ෂණ ඇති වීමට ගත වන කාලය සපා කෑමට ලක් වූ ස්ථානය අනුව එකිනෙකට වෙනස් වේ. හිස, බෙල්ල, මුහුණ, අත සහ ඇගිලි, ලිංගාශ්‍රිත ප්‍රදේශ, මුහුණේ ශ්ලේෂ්ම පටල ආදී ස්ථානවල සපා කෑම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබීම අතීශය අනතුරුදායකය. සපා කෑම සිදුවූ ස්ථානය ආශ්‍රිතව පවතින ස්නායු හා ස්නායු ප්‍රමාණය අනුවද වෛරය පැතිරීම හා රෝගය උත්සන්න වීම කෙරෙහි ප්‍රබලව බලපානු ලබයි. එසේම සපැ කෑමෙන් හෝ ඛේටය තැවරීමෙන් ශරීරයට වෛරසය ඇතුළු වන ස්ථානයේ සිට මධ්‍ය ස්නායු පද්ධතියට පවතින දුර අනුව රෝග ලක්ෂණ මතු වීමට ගතවන කාලය එකිනෙකට වෙනස් වේ.

හිස, ගෙල, මුහුණ ආශ්‍රිත සපා කෑමකදී රෝග ලක්ෂණ මතු වීම සතියකට අඩු කාලයකදී සිදුවේ. පාදය වැනි ස්ථානයක් සපා කෑමේදී ඇතැම් විට රෝග ලක්ෂණ මතු වීමට මාසයක සිට වසරක් දක්වා කාලයක් වුවද ගතවිය හැකිය.

බොහෝදෙනා මෙවැනි සපා කෑමකදී ඇතිවන තුවාලයට පමණක් ප්‍රතිකාර කර තුවාලය සුව වූ පසුව එය අමතක කර දමයි. නිසි පරිදි එන්නත් ලබා නොගත් විට වසර කිහිපයකින් පසුව වුවද ජලභිතිකා රෝග තත්ත්වය ඇතිවිය හැකිය. කුඩා ළමුන්ට මෙම රෝග ලක්ෂන ඉතා ඉක්මනින් ඇතිවේ.

ජලභීතිකාව හදුනාගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයකි. ආරම්භයේදී උණ, හිසේ කැක්කුම, අධික වෙහෙස, ආහාර අරුචිය, මාංශපේෂී වේදනාව හා ආලෝකයට මුහුණදීමට නොහැකි වීම  ආදී රෝග ලක්ෂණ ඇතිවේ. මෙම රෝග ලක්ෂණ තවත් රෝගවලදීත් ඉස්මතුවන බැවින් මෙය ජලභිතිකා රෝගය බවට මූලික මට්ටමේදී හදුනාගැනීම සිදුනොවේ. පසුව ක්‍රමයෙන් රෝග ලක්ෂණ තවදුරටත් වර්ධනය වීම සිදුවේ. මානසික අවපීඩනය, නින්ද නොයෑම, ව්‍යග්‍රතාව, වේදනාව, ක්ෂණික බියවීම් ආදී රෝග ලක්ෂණ ඇති වේ. මෙම තත්ත්වයේ දී ජලභිතිකාව ආකර 2කින් වර්ග කරනු ලැබේ.

1. ප්‍රවේගකාරී ජලභීතිකාව

මෙය වඩාත් සුලබ ආකාරයයි. ස්වයං සාධක ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසා හෝ හයිපොතැලමස ක්‍රියාකාරීත්වය වෙනස් වීම නිසා ඛේඨය ස්‍රාවය වීම, අධික දහඩිය දැමීම සිදුවේ. රුධිර පීඩනය වෙනස් වීම, මුත්‍රා පිටවීම සහ මොළයේ ආසාදන ඇතිවේ. මෙම රෝගීන් ඉතා අවේගශීලී ලෙස හැසිරේ. රෝගීයාට ජලය පානය කිරීමට අවශ්‍ය වුවද උගුරේ මාංශපේෂීන් අක්‍රිය වීම නිසා ජලය දැකීම හෝ ප්‍රතික්ෂේක කරනු ලබයි. තවත් රෝගය උත්සන්න වීමේදී ශ්වසන පද්ධතියද අඩපණ වීම සිදුවේ. බෙල්ලේ මාංශපේෂි ගැස්ම නිසා බෙල්ල පිටුපසට නැවේ. අවසානයේ අධික උණ, සිහිය නැති වීම, අපස්මාරය වැනි තත්ත්වයන් ඇති වී හෘද ක්‍රියාකාරීත්වය අඩපණ වී මරණයට පත්වේ.

2. නිද්‍රාශීලී ජලභීතිකාව

මෙම තත්ත්වයේ දී ප්‍රධාන වශයෙන් සුසුම්නාවට බලපෑම් එල්ල වේ. සපා කෑම සිදු වූ මාංශ පේෂීණ් අඩපණ වීම, හිරිවැටීම සිදුවේ. මෙම රෝග තත්ත්වය සහිත රෝගීන් නිරන්තරයෙන් හුදකලාව අලසව සිටීමට දැකිය හැකිය. උගුරේ මංශ පේෂීන් අක්‍රිය  වී රෝගියා මරණයට පත්වේ.

 

සතුන්ගේ සපා කෑමකදී එම සත්තවයාට ද මෙවැනි රෝග ලක්ෂණ තිබුණා ද යන්න දැන ගැනීම ඉතා වැදගත් වේ. සුනඛ සපා කෑමකදී ප්‍රතිකර කරන වෛද්‍යවරයා හට එම සුනඛයාගේ තත්ත්වය පැහැදිලිව පැවසීම ඉතාම වැදගත් වේ. ජලභීතිකාව වැළදී ඇති බල්ලන් පූසන් වැනි සතුන්ද ඛේඨය ස්‍රාවය කරමින් ආවේගයෙන් හැසිරීම, ඉබාගාතේ දිව යෑම, පස්සෙන් පන්නාගෙන පැමිණ සපා කෑම හෝ මිනිසුන්ගෙන්, අනිකුත් සතුන්ගෙන් ඈත්වී සිටීම, සමීපයට යෑමේදී එකවරම සපා කෑමට පැනීම, සපා කෑම ආදී ලක්ෂණ  දැකිය හැකිය. මෙම රෝගය වැළදුන සතුන් දින තුන හතරකදී මරණයට පත්වේ.

බල්ලෙකු, පූසෙකු වැනි සත්ව සපා කෑමක දී පළමුව එම ස්ථානය හොදින් සබන් යොදා සේදිය යුතුය. නිර්දේශිත විෂබීජනාශක දියර වුවද භාවිත කළ හැකිය. පසුව අනිවර්යෙන්ම රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගත යුතුය. එහිදී සපා කෑමෙන් ඇති වූ තුවලය සහ ස්ථානය අනුව ඉදිරි ප්‍රතිකාර තීරණය කරනු ලැබේ. මෙහිදී සපා කෑ සත්වයාගේ ස්වභාය ජලභීතිකා රෝග ලක්ෂණ සහිත වීම හා තුවාලයේ ස්වභාවය අනුව එන්නත් ලබා ගැනීම නියම කරයි. එම එන්නත් ලබා ගැනීම අනිවර්යයෙන්ම කළ යුතුය. මතුපිට තුවාලය සුව වුවද, වෛරසය ශරීර ගතවී තිබිය හැකි බැවින් එන්නත් ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ. මෙම එන්නත් තුළින් සිදුකරන්නේ වෛරයට ප්‍රතිකාර කිරීම නොවේ. වෛරස් මගින් ඇතිවන රෝල සදහා නිශ්චිත ප්‍රතිකාර නොමැත. එය ජලභිතිකාව රෝගයේදීද එසේමය. නිශ්චිත ඖෂධ නොමැත. එන්නත් මගින් ලබාදෙන්නේ වෛරසය මැඩලීමට අවශ්‍ය ප්‍රතිශක්තියයි.

  සපා කෑ සත්වයාට ජලභීතිකාව ඇතැයි සැක කරන්නේ නම් එම සත්වයා මරා හිස රෝහලට බාරදී බොරැල්ල පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ලබාදී පරීක්ෂා කිරීමට වෛද්‍යවරු උපදෙස් ලබාදේ.

දැනට ලංකාවේ ජලභීතිකාවට එරෙහිව එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක වේ. එහිදී ගෘහස්ථ සුනඛයින් මෙන්ම, මාර්ගවල නිදැල්ලේ හැසිරෙන සුනඛයින් ද එන්නත් කිරීම නියමිත කාල සීමාවන් අනුව සිදුවේ. බොහෙෝ රෝහල්වල රෝගයට ප්‍රතිකාර ලෙස ප්‍රතිදේහ එන්නත් ලබා දීමද  සිදුවේ.

නිවසේ ඇතිකරන සතුන් හැකිතාක් ගෙවත්තේම තබා ගනිමින් නිදැල්ලේ යෑම වළක්වා ගත යුතුය. එසේම මාර්ගයේ ගමන් කරන විට සතුන් සමීපයට යෑම, අහාර ලබා දීම, ආදරය අනුකම්පාව දැක්වීම නොකළ යුතුය. මෙවැනි සතෙකු දුටුවහොත් වැඩිහිටියෙකු හෝ වගකිවයුතු අයෙකුට දැන්වා සත්වයා මරා දැමිය යුතුය. ඒ හැර වෙනත් විසදුමක් නැත.


© අසීමාන්තික WEB MAGAZINE


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts