කිරියෙන් ආරම්භ වී පැණියෙන් අවසන් වන විස්සයි විස්ස...

2020 නැතිනම් විස්සයි විස්ස වර්ෂය අවසන් වන්නට ඇත්තේ තවත් සීමිත දින කිහිපයකි. ගෙවුණු වසර දෙස ආපසු හැරී බැලුවහොත් අප කිසිවෙකු සතටු වන්නේ නැත. අප සියල්ලන්ම පාහේ අද වන විට ගත කරන්නේ ලෝකයක් එක ලෙස පීඩා විඳින වසංගත උවදුරක් සමඟින් බව අමුතුවෙන් කිව යුතු නැත. 2020 ජනවාරි මස පළමුවනදා ඔබට මතක ද...? සුපුරුදු පරිදි සිරිතට මුල් තැන දෙමින් අප 2020 නව වසර ආරම්භ කරනු ලැබුවේ කිරි ඉතිරීමෙනි. කිරි උතුරවා වසර පුරා සෞභාග්‍යය උදාවන ලෙස ඔබ ප්‍රාර්ථනා කරන්නට ඇත. එනමුත් ගෙවෙන වර්ෂය අප කාහටත් සතුටු දායක නොවුණි. නොසිතූ, නොපැතූ අයුරින් කොවිඞ් 19 හෙවත් කොරෝනා වසංගතය සමඟ ජීවත් වීමට අද අප සියල්ලන්ට සිදුව තිබේ. එක් අතකින් දුක් වීමෙන් හෝ කනාගාටු වීමෙන් ඵලක් නැත. කළ යුතු වන්නේ ශක්තිමත් සිතින් සියල්ලට මුහුණ දීම පමණකි.

2020 වර්ෂයෙන් වැඩි කාල සීමාවක් අප ගෙවූයේ නිවසේ සිට ය. එය එක් අයුරකින් දුරස්ව තිබූ සබඳතා නැවත වර්ධනය කරන්නට අවස්ථාවක් විණි. කාර්ය බහුල ජීවන රටාව සමඟ ආදරණීයයන්ගෙන් ඈත්ව තිබූ බැඳීම් නැවත වර්ධනය කර ගනිමින් නිවසට වී රැඳෙන්නට ඔබට ඉන් අවස්ථාවක් හිමිවන්නට ඇත. ආර්ථිකමය වශයෙන් රට තුළ යම් යම් ගැටලු ඇති වුවද මානුෂීය ගුණාංග යම් හෝ අයුරකින් වර්ධනය වීමට කොරෝනා වසංගතය අපට මඟ කියූ බව සැබෑ ය. තාක්ෂණය සහ අන්තර්ජාලය භාවිතය ක්‍රමයෙන් වර්ධනය වීම සමඟ ගෙවුණු කාලය තුළ 43%ක පමණ පිරිසක් ඩිජිටල් මාධ්‍ය මඟින් යම් යම් අලුත් දේ අත්හදා බැලීම සඳහා යොමුව ඇති බව සංඛ්‍යා දත්ත විග්‍රහ කරයි. ඒ අනුව තාක්ෂණික අංශයෙන් එවැනි දේ සඳහා යොමු වීම එක් අතකින් වර්ධනීය කරුණකි. එමෙන්ම මෙතෙක් ඔබ සතු නොවූ යහපත් සෞඛ්‍ය පුරුදු රැසක් ඔබ විසින් ඔබ තුළ වර්ධනය කර ගන්නට ඇත. එසේ බැලූ කල කොරෝනා වසංගතය බොහෝ දේ අපට අහිමි කළා සේම යම් යම් දේ නැවතත් අපට ළඟා කළ බවද කිව හැකිය. කෙසේ වෙතත් 2020 වර්ෂය අප සියල්ලන්ටම නොදැනී ගෙවී යමින් පවතී. මෙකී වර්ෂය අප රට තුළ දේශපාලනික, ආර්ථික, සමාජයීය, සෞඛ්‍යමය වශයෙන් බොහෝ විපර්යාසයන් ඇති කරන්නට හේතු විය. එමෙන්ම සොබාදහමින් පවා විවිධ බාධා එල්ල වූ බව ඔබට මතක ඇති බව සිතමි. 

එනමුත් අද අප කොරෝනා සමඟ ජීවත් වීමේ සටන ආරම්භ කර ඇත. තවමත් කොරෝනා වසංගතය ශක්තිමත් ය. සක්‍රීය ය. කොරෝනා වසංගතය සමඟ පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්ව ඇත්තේ කොරෝනා රෝගය සඳහා දේශීය වශයෙන් නිපදවා ඇති ඖෂධීය පැණියයි. මෙම ඖෂධීය පැණිය ලබා ගැනීම සඳහා එය නිර්මාණය කළ වෙද මහතා සමීපයට දහස් ගණන් ජනයා ඇදී යාම පිළිබඳව සමාජයේ බොහෝ කතිකාවන් නිර්මාණය වී තිබේ. ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය ආදී සෑම මාධ්‍යයකම පාහේ මෙය ඉතා ඉහළින් වාර්තා කරනු ලබන පුවතක් වී ඇත. සැබවින්ම පැණිය සොයා යාම විනා කිසිඳු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙතක් නිවැරදිව අනුගමනය කිරීම ඔවුන් තුළින් දැකගත නොහැකි ය. එසේ නම් රෝගයෙන් ආරක්ෂා වීමට ඖෂධ සොයා යන්නේ රෝගය තව තවත් ව්‍යාප්ත වීමට ඉඩකඩ සකසමින් බව ප්‍රථමයෙන් තේරුම් ගතයුතු කරුණ වේ. කොරෝනා පැණිය දේශපාලන ලෝකය තුළ ද ප්‍රබල තේමාවක්ව ඇති බව නොරහසකි. පැණියේ කතාව මේ තරම් සමාජගත වී ඇත්තේ ද එබැවිනි.

කිරියෙන් ආරම්භ වී පැණියෙන් අවසන් වන අරුම පුදුම 2020 වශයෙන් මා සටහනට පූර්විකාව ගොඩනඟා ගත්තේ ද එය ඊට වඩාත් උචිත වන බැවිනි. සිතා බලන්න... අප 2020 වසර ආරම්භ කරනු ලැබුවේ සෑම නිවසකම කිරි මුට්ටියක් උතුරුවා සුබ සෙත ප්‍රාර්ථනා කරමිනි. අද වසර අවසන් වන්නේ නිරෝගී සුව පතා කොරෝනා ඖෂධීය පැණිය පිළිබඳ සමාජය තුළ විවිධ කතිකාවන් ගොඩනඟමිනි. කිරියෙන් ආරම්භ කොට පැණියෙන් අවසන් වන 2020 නම් අරුම පුදුම වසරක් නොවේ ද......? 

හංසනි දිල්හාරා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
© අසීමාන්තික WEB MAGAZINE

අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts