“ජංගම විශ්වකෝෂය” නමින් විරුධාවලි ලැබූ
එඞ්වින් ආරියදාස මහතා 


        සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන  විෂය ක්ෂේත්‍රය පිළිබඳව  අවධානය යොමු කරන විට මෙරට පුරෝගාමී චරිත අතර එඞ්වින් ආරියදාස මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සිය ජිවිතයෙක් වැඩි කාලයක් මෙරට ජනසන්නිවේදනය හා මාධ්‍ය  ක්ෂේත්‍රය උදෙසා කැප කළ එතුමා මාධ්‍යවේදියකු,ගුරුවරයෙකු, මාධ්‍ය උපදේශකවරයෙකු,සිනමා විචාරකයෙකු පමණක් නොව මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ජනමාධ්‍ය විෂය හදුන්වා දීමට උරදුන් පුරෝගාමියා ලෙසද හදුන්වා දිය හැකිය.

        1922 දෙසැම්බර් 03 වන දින ගාල්ල උණවටුනේදි උපත ලද එඞ්වින් ආරියදාස මහතා උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.අනතුරුව දේවතුරේ ඉංග්‍රීසි පාසලෙන්ද, ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ද සිප්සතර හැදැරීය.කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වූ එතුමා ඊ.එෆ්.සී.ලූඩොවයික් මහතා ඇසුරේ ඉංග්‍රීසි භාෂාව හැදැරුවේය.විශ්වවිද්‍යාල අවධියේ පටන්ම පත්‍ර,සඟරා වලට ලිපි සැපයූ එතුමා සර් අයිවර් ජෙනින්ග්ස් ප්‍රධානත්වයෙන් සිංහල ගෞරව උපාධිය ලැබීය.ගාල්ල  මහින්ද විද්‍යාලය,මොරටුව මහා විද්‍යාලය තුළ මද කලක් ගුරුවරයෙකු ලෙස කටයුතු කළ එතුමා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්ද විය.

        ප්‍රවීන මාධ්‍යවේදී සෝමවිර සේනානායක මහතා විසින්  එඞ්වින් ආරියදාස මහතා මෙරට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය අංශ කිහිපයක් යටතේ ඉදිරිපත් කර ඇත. නූතන විද්‍යාව සිංහලෙන් ජනප්‍රිය කරවිම,නව චින්තනය සිංහලයෙන් හදුන්වා දීම,බටහිර සාහිත්‍ය හා සංස්කෘතිය පිළිබඳ සිංහල කියවන්නන් දැනුවත් කිරීම , සිංහල සංස්කෘතිය ඉංග්‍රීසි පාඨකයන්ට හදුන්වා දීම, ජනමාධය විෂය ජනප්‍රිය කරවිම සහ ඉගැන්වීමප්‍රවීනයන්ට මගපෙන්වීම හා නවකයන් දිරිගැන්වීම. 

       මාධ්‍ය විෂය පිළිබඳ  “ජංගම විශ්ව කෝෂය” නමින් විරුදාවලි ලැබූ එතුමාගෙන් එදාමෙදා තුර සිදුවූ සේවය මෙතෙක්යැයි කියා ඇගයීම දුෂ්කරය.එතුමා ක්ෂේත්‍ර ගණනාවකින්ම සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට තම දායකත්වය ලබා දී ඇත.ලොව පුරා ජනමාධ්‍ය පැතිරිමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු වන්නට පටන් ගැනුණි. විශේෂයෙන් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ සමාජ ප්‍රගමනය උදෙසා අහිතකරව බලපාන්නා වූ ප්‍රවේශයන් පවත්නා බවට සාකච්ඡා විය.චන්ද්‍රිකා සන්නිවේදනය මුල් කරගත් සන්නිවේදන විප්ලවය තුළින් ජනිත වූ ගෝලීයකරන ප්‍රවාහය තුළ මෙම බලපෑම  තීරණාත්මක විය. නව විප්ලවීය වෙනස්වීම් වලට සමාජය සූදානම් කර වීම සඳහා සන්නිවේදන තාක්ෂණය  හා භාවිතය පිළිබඳ වඩාත් උසස් ශික්ෂණයක් සමාජයට ලබා දීම අවශය විය. ඒ අනුව සන්නිවේදන හා මාධ්‍ය විෂය ඇමරිකානු එක්සත් ජනපදයේ වර්ජියානු වොෂින්ටන් කොලේජයෙහි 1920 දී ඇරඹුනි. මෙම විෂය හැදින්වූයේ  “පුවත්පත් කලාව” නමිනි. ජනමාධ්‍යයට කළ හැකි අසීමිත බලපෑම වටහා ගත් බොහෝ පෙරඅපර දෙදිග රටවල් මාධ්‍ය අධ්‍යයන විෂය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට හදුන්වා දෙමින් එයට උසස් ස්ථානයක් හිමිකර දුන්නේ ය.

            මෙසේ ලොව පුරා ජනසන්නිවේදන විෂය වැදගත්භාවය අවධාරණය වී ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකාව තුළ මෙම විෂයෙහි වැදගත්භාවය වටහා ගන්නේ එඞ්වින් ආරියදාස මහතා විසිනි. මෙරට විධිමත් අයුරින් මෙම විෂය ආරම්භ වන්නේ 1960 දශකය අග භාගයේ එනම් 1959 කනිෂ්ඨ විශ්වවිද්‍යාල ආශ්‍රිතවය. එඞ්වින් ආරියදාස මහතා විසින් දෙහිවල පිහිටි කනිෂ්ඨ විශ්වවිද්‍යාලයක  “ජනවිඥාපන” විෂය පිළිබඳ මුල්ම ආචාර්යවරයාද විය. වත්මනෙහි ජන සන්නිවේදනය නමින් හදුන්වන විෂය එවක හදුන්වා දෙන්නේ  “ජනවිඥාපනය” යන නමිනි. ප්‍රථම වරට ආරම්භ කළ මෙම විෂය පිළිබඳව පෞද්ගලික අධ්‍යයනයක් කොට ඒ සඳහා අවශ්‍ය පොතපත සම්පාදනය කරනු ලැබුවේ ද එතුමන් විසිනි.

         ආරම්භයේ පටන්ම මෙම විෂය සමාජය සමඟ බද්ධ විය යුතු බැවින් පුවත්පත් කතුවරුන් වෙනත් මාධ්‍යයන්ට සම්බන්ධ වූවන් මෙන්ම සුප්‍රකට සිනමා විචාරකයන්ගේද සහය ලබා ගැනීමට කටයුතු කළ එතුමා ප්‍රථම වරට ප්‍රායෝගික සන්නිවේදන පාඨමාලාවක් සකස් කළේ ය. 1972 දී ජනමාධය විෂය විශ්වවිද්‍යාල විෂයක් බවට පත් විය. විශ්වවිද්‍යාල සඳහා එක් කිරිමට පෙර ඊට හේතු සොයන්නට පත් කළ කොමිසමේ සභාපති ධූරය හෙබවූ මෙතුමා තම කොමිසමේ වාර්තාව තුළින් පෙන්වා දුන්නේ වෘත්තීය අභිමුඛ පාඨමාලා විශ්වවිද්‍යාල විෂය මාලාවන්ට ඇතුළත් කළ යුතු බවයි. මෙහි අදියරක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයට ජන සන්නිවේදන විෂය ඇතුළත් විය. එහිදී නව පාඨමාලාවේ ප්‍රායෝගික හා න්‍යායික වශයෙන් සිනමා විෂය ඉගැන්වීමේ පුරෝගාමී ආචාර්යවරයා ලෙසද තම දායකත්වය ලබා දුන්නේ ය.

              පුවත්පත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් වීම සමඟ එය මානව සමාජයේ සංස්කෘතියේ පැවැත්ම සහ වර්ධනයේ ස්වරූප ගැඹුරු විපර්යාසයකට ලක් කෙරිණි. පුවත්පත ජනතාව වෙත දැනුම, වින්දනය, අභිප්‍රේරණය බෙදා දෙන ප්‍රබල මෙවලමක් බවට පත් විය. ආරියදාස මහතා 1949 මාර්තු 08 වන දා ලේක්හවුස් ආයතනයට එක් වන්නේ පුවත්පත් කලාවේදියකු ලෙසිනි. සිංහල හා ද්වි භාෂා දැනුම මනාව ප්‍රයෝජනයට ගනිමින් විවිධ ක්ෂේත්‍ර විවිධ විෂයන් අරඹයා පුවත්පත් හා සඟරාවන් සඳහා අප්‍රමාන ලිපි ලේඛන සංඛ්‍යාවක් ලියා එතුමා දිනමිණෙහි උපකතෘවරයෙක් හා විශේෂාංග කතුවරයෙක් ලෙස වසර ගණනාවක් කටයුතු කළේ ය. සාහිත්‍ය, කලාව මෙන්ම ජනමාධ්‍ය පිළිබඳ ගැඹුරු පරිණත බවකින් යුක්තව ලියන ලද සියල්ල ඔහුට ආවේණික සංගමයකින් යුක්තව ඉදිරිපත් කළේ ය. 1978-1982 දක්වා නවයුගය පුවත්පතෙහි ප්‍රධාන කතෘ පදවිය දරණු ලැබූ එතුමා එය පෙර අපරදිග දැනුමෙන් පෝෂණය කරමින් කාලීන තේමාවන් ඔස්සේ ඉදිරිපත් කළේ ය. ඔහු ආරම්භ කළ විශේෂාංග අතර චරිත හමුව, දුක දිනා ජයගත් හපන්නු, අතීතයට ලියුමක් කැපී පෙනේ. නවයුගය පුවත්පත පුරා ආරියදාස මහතා විසින් අලූත් පාඨක පිරිසකට සඟරා සකස් වියයුතු ආකාරය පිළිබඳ අත්හදා බැලීම් සිදු කරන ලදී. ඬේලිනිවුස්, ඔබ්සර්වර් පුවත්පත් වලට මෙන්ම මිහිකත, දෙසතිය සඟරා සහාද ලිපි සැපයු එතුමා ලේක්හවුස් ආයතනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද තම දායකත්වය ලබා දුන්නේ ය.

         විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වසර විස්සකට අධික කාලයක්  දායකත්වය ලබාදුන් එතුමා රූපවාහිනී මාධ්‍යයක් හදුනා ගැනීමේ දී එහි ගමන් මග සකස් කිරිමටද දායකත්වය ලබා දුන්නේ ය.70 දශකය අග වනවිට ආසියා හා ශාන්තිකර කලාපීය බොහෝ රටවලට රූපවාහිනී සේවාව ආරම්භ වී සැළකිය යුතු කාලයක්ගෙවී තිබියදි මෙරට රූපවාහිනී සේවාව ව්‍යාප්ත කල යුතුද නැද්ද යන්න පිළිබඳව මතබේද පැවතිණ.එවැනි පසුබිමක් තුළ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වූ එතුමා රූපවාහිනී සේවාව ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය මන්ද යන්න පිළිබඳ නිතර අදහස් ඉදිරිපත් කළේය. 

               බටහිර උපන් සන්නිවේදන විද්‍යාවට අදාල බොහෝ පාරිභාෂිත පද සිංහල භාෂාවෙහි නොමැති විට ලොව නන්දෙසින් සැරිසැරූ ඔහු එයින් උකහාගත් දැනුම ඔස්සේ සිංහල බසට නව අරුත් දෙන වදන් නිර්මාණය කළේය.“ඇවිදින පුස්තකාලය” නමින් මෙරට සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ගෞරවයට පාත්‍ර වන එතුමා තම දැනුම ගබඩා කිරිමකින් තොරව අනෙකාගේ යහපත උදෙසා  ඕනෑම අවස්ථාවක දි බෙදාහදා දෙමින් වත්මන් සන්නිවේදන විෂය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී කාර්යභාර්යක් ඉටු කළේය .විසි එක්වන සියවසට ගැලපෙන මාධ්‍ය පදනමක ජාතික හා කාලීන  අවශ්‍යතාවය වෙනුවෙන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ උපදේශකත්වය, මගපෙන්වීම ලබාදෙමින් නිර්මාණශීලීත්වය මගින් මාධ්‍යකරණයට පිවිසීමට පෙරුම්පුරනා යෞවන යෞවනීන්ට නිසි මඟ පෙන්වීම සඳහා මෙතුමා නිහඬව විශාල මෙහෙයක් ඉටු කළේය සාකච්ඡා ,දේශන මගින් ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ලබාදෙන එතුමා මෙම විෂය ක්ෂේත්‍රයට ලබාදෙන දායකත්වය අතිමහත්ය.එදාමෙදා තුර සිදු වූ අපරිමිත සේවය මෙතෙක්යැයි කියා ඇගයීම දුෂ්කරය.දේශයේ පිනට පහළ වූ එතුමාට දීර්ඝායුෂ සම්පන්න නිරෝගිමත් ජීවිතයක් ගතකිරීමට ශක්තිය ධෛර්ය ලැබැවා  යැයි  අප සැමගේ ප්‍රාර්ථනයි. 


© අසීමාන්තික WEB MAGAZINE
රාජිනී නිසංසලා 
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය 


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts