අසමත් වීම් මැදින් ජීවිතේ දිනමු

 

සමත් වීම හෝ අසමත් වීම අපි කාටත් පොදු දෙයක්. අද මේ ලිපියෙන්  කතා කරන්නේ කරන්නේ විභාග අසමත් වීම පිළිබඳවයි. 

අපි කුඩා කාලයේ ඉඳලම විවිධ විභාග වලට මුහුණ දීලා තියෙනවා වගේ ම තවමත් විභාග වලට මුහුණ දෙමින් සිටිනවා විය හැකියි. විභාගයක් කියන්නේ දැනුම මැන බලන අභියෝගාත්මක කඩයිමක්. ශිෂ්‍යත්ව විභාගය, පාසලේ වාර විභාග, සාමාන්‍ය පෙළ විභාගය, උසස්පෙළ විභාගය, විශ්වවිද්‍යාලයේ විභාග, රැකියා සඳහා තේරී පත්වීම් විභාග, රැකියා උසස් වීම් තරඟ විභාග මේ ආකාරයේ විවිධ මාදිලියේ විභාගවලට අපි මුහුණ දෙනවා. ඇත්තටම ජීවිතේ බාගෙට බාගයක් ම මේ විභාගවලට මුහුණ දෙන්නයි වෙලා තියෙන්නේ. මේ ලියන විභාගවලින් ඇතැමුන් විශිෂ්ට ලෙස සමත් වෙනවා. තවත් සමහරු අසමත් වෙනවා. ගොඩක් අය අසමත් වෙන්න මූලික හේතුව විභාග භීතිකාව. උදාහරණයක් විදියට ළමයෙක් පංති කාමරයේ හොඳින් වැඩ කරනවා. ඉහළ ලකුණු ගන්නවා. ඔහුට හෝ ඇයට ඉහළ හැකියාවක් තියෙනවා. නමුත් ඔහු හෝ ඇය විභාග ප්‍රතිඵල ඉතා අවම මට්ටමක තමයි තියෙන්නේ. ඔහු අදක්ෂයෙක් නෙමෙයි. විභාගය ලියන වෙලාවේ ඔහුට හෝ ඇයට පිළිතුරු ලිවීමට අවශ්‍ය කරුණු අමතක වීම, භීතියට පත් වීම නිසා බලාපොරොත්තු වන තරමට ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට නොහැකි වීම ආදී විවිධ හේතු මෙයට බලපානවා.

මුලින් සඳහන් කළ විභාග භීතිකාව බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. විභාගවලට ඇතැමුන් ඉතාම අකමැතියි සහ අනිසි බියක් දක්වනවා. විභාග භීතිකාව ඇතිවන්නේ විභාගයට නිසි ලෙස පාඩම් නොකිරීම, අනෙක් පිරිස් තමන්ට වඩා ඉහළ ලකුණු ලබා ගනීවි යැයි ඇති වන බියවිභාගට පිළිබඳ තමාට විශ්වාසයක් නොමැතිකම ආදී හේතු නිසා. විභාගයට පෙර යම් යම් අසනීප තත්ත්ව ඇති වන්නේ, විභාග ශාලාවල දී ක්ලාන්තය වීම, ඇඟ වෙව්ලීම, කරුණු අමතක වීම ආදී සිදුවීම් වලටත් ඇතැමුන් මුහුණ දෙනවා.

විභාගය අසමත් වීම බොහෝ දෙනෙක් දුකට පත් වෙන කාරණයක්. ඔවුන් එය සලකන්නේ තමන්ගේ මුළු ජීවිතය ම අසමත් වීමක් ලෙසයි.  නමුත් විභාගයක් අසමත් වුණා කියලා ඔබ අසමත් වෙන්නේ නෑ. මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහ කරන මාතෘකාවක් තමයි ශිෂ්‍යත්ව විභාගය. විභාගයට මුහුණ දුන් බොහෝ දරුවන් විශිෂ්ට ලෙස සමත් වෙලා තියෙනවා. ඒ වගේ ම තවත් දරුවන්ට කඩයිම් ලකුණු ලබා ගැනීමට අසමත් වෙලා තියෙනවා. සමහර දෙමව්පියන් විභාගය අසමත් වූ දරුවාට නිතර ම දෙස්දෙවොල් තියනවා. පහර දෙනවා. තමන්ගේ බලාපොරොත්තු ඉටු කළේ නෑ කියලා දරුවාට චෝදනා කරනවා. ශිෂ්‍යත්වය සමත් වුණේ නෑ කියලා දරුවන්ට බැණ වදිමින් ඔවුන්ව අපහසුතාවට පත් කරන එක ඉතාම වැරදියි. මොකද ඔවුන් ලබාගෙන ඉන්නේ ලකුණු 10ක් නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. දරුවා තරඟ විභාගයට මුහුණ දීලා ලබා ගත් අත්දැකීමත් ඔහු ලබපු ජයග්‍රහණයක්. එම නිසා දෙමව්පියන් දරුවන්ව දිරිමත් කිරීමයි කළ යුත්තේ.පෙර කී ලෙස විභාගයකට මුහුණ දුන් පසුව තමන්ගේ දරුවාට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිවීම නිසා බැණ වදිනවා නම් ඔහු තුළ ඇති වන්නේ විභාග භීතිකාවක්. ඔහු කවදා හෝ දවසක නැවතත් කුමක් හෝ විභායකට මුහුණ දීමේ දී පෙර සිදුවීම් මතකයට නැගෙන්න පුළුවන්. අසමත් වුවහොත් බැණ වඳීවි යන හැඟීම ඇති වන්නට පුළුවන්.

සාමාන්‍ය පෙළ, උසස්පෙළ විභාග අසමත් වීම් මඟින් බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු අත්හැර ගන්නවා. අරමුණක් නොමැතිව ජීවිතේ විනාශ කරගන්නවා. එම විභාග අසමත් වූ නමුත් විකල්ප මාර්ග තියෙනවා ඔබේ ජීවිතය ජය ගන්න. අවාසනාවට ඒ පිළිබඳ බොහෝ දෙනෙකු තුළ ඇති දැනුවත්භාවය අවම යි.

ඇතැමුන් විභාග අසමත් විම දරා ගැනීමට නොහැකිව සියදිවි නසා ගැනීමට පවා පෙළඹෙනවා. ඔවුන් එසේ කරන්නේ සමාජයට මුහුණ දීමට නොහැකියාව, තමන්ගේ ජීවිතය අසමත් වී ඇතැයි හැඟීම මත. නමුත් එම තීරණ ඉතා වැරදියි. විභාග අසමත් වීමෙන් ජීවිතේ පසුබෑමක්  නොවෙයි. එයින් ඔබ තවත් ශක්තිමත් විය යුතුයි. ඔබේ අසමත් වීමට හේතු සොයා බැලිය යුතුයි. ඔබට විභාග භීතිකාව ඇති නම් එය මඟහැර ගැනීමට උපදෙස් ගත යුතුයි. මේ සියල්ලෙන් ම සන්නද්ධ වී නැවත වරක් විභාගයට මුහුණ දීමට ඔබට පුළුවන්. හිත ශක්තිමත් කර ගෙන අභියෝගයට මුහුණ දීමයි වැදගත් වෙන්නේ. අසමත්වීම් ජීවිතයට ශක්තියක් කරගෙන බාධක මැඩගෙන ජීවිතය දිනන්න. ඔබට ජය!

 

© අසීමාන්තික WEB MAGAZINE

මධූ ජයතිලක

ජන සන්නිවේදන අධ්‍යන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


අසීමාන්තික WEB MAGAZINE 
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts