හෙළයේ මහා ගාන්ධර්වයාණෝ
1927 වසරේ දෙසැම්බර් මස පස්වන දින දොන්
ගිනෝරිස් පෙරේරා පියාණන්ට සහ මැගී
වෙස්ලිනා මෑණියන්ට දාව වන්නකුවත්‍ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යන නමින් උපත ලද මෙම
දරුවා වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඩබ්ලිව්. ඩී. අමරදේව යන නමිනි. තම පියා බෞද්ධයෙකු වීමත්,
මව කතෝලික තැනැත්තියක්
වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍ර වුණු පවුලක ජීවත් වීමේ හැකියාව
අමරදේවට ලැබුණි. දරුවන් හය දෙනෙකුගෙන්
යුත් පවුලේ බාලයා වූ මොහු මූලික අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර
පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි.
ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයට ද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට ද ඇතුළත් වූවේ ය.
කුඩාකල දී අමරදේවයන් සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාණන්ගෙනි. එමෙන් ම ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු ඉන්දීය
ශාස්ත්‍රීය සංගීත ගුරුවරයෙකු විය. අමරදේව කුඩා කළ තම මවගේ ස්ත්‍රෝත්‍ර ගායනා වලට
හිතුමනාපයේ තත් හඬවන්නට පුරුදුව සිටියේ ය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින්
වයලීනයක් පියාණන්ගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමි විය.
පාසල් වියේ සිට ම සංගීතය ඔස්සේ ජයග්‍රහණ අත්
කරගත් අමරදේවයන්ගේ දක්ෂතා හඳුනාගත් ගුරුවරුන් ඔහුව ගුවන් විදුලි සංස්ථාවේ ගායක
මඬුල්ලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබූහ. 1945 වසරේ ජන කලා මණ්ඩලය විසින් පවත්වනු ලැබූ
ගායනා සහ වයලීන වාදක තරඟයකින් රන් පදක්කම දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුණි.
පසු කලෙක දී "අශෝකමාලා" චිත්‍රපටියේ
රූගත කිරීම් ඇරඹෙන අතර එම චිත්‍රපටියේ සංගීතය මෙහෙය වූ මොහොමඩ් ගවුස් මාස්ටර්
විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛත ම වයලීන් වාදක ශිල්පියා බවට අමරදේවයන් පත් කරනු
ලබයි. තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1950 වසරේ මැද භාගයේ දී ඉන්දියාවේ ලක්නව් නුවර
භාත්ඛණ්ඩේ සංගීත අධ්‍යනායතනයට ඇතුළත් වන මොහු නැවත ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත්
වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අධ්‍යනායතනයෙන්
ලැබූ පරිචයත් සමඟ ලංකා ගුවන්
විදුලි සේවයෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වෙයි.
"අමරදේව" හෙවත් "අමරණීය ආත්මයක් ලද
දේවයාණන්" යන අර්ථය සහිත නාමය ඔහු ලැබූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි.
කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති), චිත්‍රපටි( රන්මුතුදූව,
ගම්පෙරළිය, රන්සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරව්, තුන්මං හංදිය
ආදී) නූර්ති( වෙස්සන්තර) ආදී කෘතීන්ට මෙන් ම ගුවන්විදුලි සහ රූපවාහිනී
වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේව ශූරීන්ට හැකියාව ලැබුණි.
පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය , ශ්‍රී ලංකා රජයෙන්
පිරිනමන දේශීය සම්මානය, ශ්‍රී ලංකා
රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය, ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය වැනි සම්මාන රැසකින්
අමරදේවයන් පිදුම් ලැබීය. අද වන විට එතුමන් ජීවතුන් අතර නොමැති වුවත්
"අමරදේව" නාමය කිසිදිනෙක අපගේ සිත් තුළින් බැහැරව නොයන බව නො අනුමාන ය.
© අසීමාන්තික WEB
MAGAZINE
මධූ ජයතිලක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය



Comments
Post a Comment