බිතු සිතුවම් අලුත් කළ සෝමබන්දු විද්‍යාපති
සෝමබන්දු විද්‍යාපති සිත්තරා 1923 මාර්තු 22වන දින
පන්නිපිටියේ දී උපත ලැබීය. කුඩා කාලයේ සිටම ගමේ වෙල් යායයට, පන්සලට, තුරුලතාවලට,
ගැමි ජීවිතයට විද්‍යාපති මහත් සේ ඇලුම් කළේය. කුඩා කාලයේ සිටම පන්සලේ ඇසුරත් සමග
බිතු සිතුවම් හා බලි සිතුවම් කලාවට නිතැතින්ම යොමුවිය. විශේෂයෙන් ඔහුගේ ආතා කෙනෙකු
වූ චිත්‍ර ශිල්පියෙක් හා නර්තන ශිල්පියෙක් වූ කොරලේලිස් ගුරුන්නාසේගේ ඇසුර ඔහුට
ලැබුණි. ඒ ඇසුරත් සමග ක්‍රමයෙන් කලාව කෙරෙහි තරුණ විද්‍යාපතිගේ අවධානය යොමුවිය.
ගමේ තිබූ ශාන්තිකර්ම,
ගම්මඩු, කෝලම්, නාඩගම් ආදිය නැරඹීමට ඒවාට සහභාගි වීමට ඔහු යොමු වී ඇත. සෝමබන්දු
විද්‍යාපති සිත්තරා සිය ගමන ආරම්භ කරන්නේ එලෙසිනි.
1930 දී සෝමබන්ධු විද්‍යාපති සිය ප්‍රාථමික අධ්‍යාපනය
සදහා කොට්ටාව ආනන්ද විද්‍යාලයට ඇතුලත් වී ඇත. පසුව ඉංග්‍රීසි අධ්‍යාපනය සදහා පරාක්‍රම
ඉංග්‍රීසි විද්‍යාපයට ඇතුලත් වී තිබේ. කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ද වැඩිදුරටත් සෝමබන්දු විද්‍යාපති අධ්‍යාපනය ලබා
තිබේ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉගනුම ලබන අවධියේ වික්ටර් සල්ගාදු, එල්. කේ.
කරුණාරත්න, එස්. පී. සකලසූරිය ආදී ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් ලැබීමට සෝමබන්දු විද්‍යාපතිට
හැකිවිය. කෙටි කාලයක් චිත්‍රසේන නාට්‍ය ශිල්පියා යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරීමට
ද සෝමබන්දු විද්‍යාපතිහට අවස්ථාව ලැබී තිබේ.
1945 දී චිත්‍ර ශිල්පය හදාරමින් සිටි සෝමබන්දු විද්‍යාපති
ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ඇතුළත් විය. එහිදී ජාත්‍යන්තර කීර්තියට පත් චිත්‍ර
ශිල්පියෙකු වන නන්දලාල් බෝස් යටතේ චිත්‍ර ශිල්පය හා මූර්ති කලාව ප්‍රගුණ කළේය.
පසුව ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත ඉන්දියාවේ ට්‍රැවන්කෝර් විශ්වවිද්‍යාලයට
ඇතුළත් වී දකුණු ඉන්දීය චිත්‍ර කලාව හා මූර්ති කලාව පිළිබදව හැදෑරීමක් කළේය.
නව පාර්ලිමේන්තු සංකීර්ණයේ 80 x 80 වියන්තල සැරසිල්ල, පේරාදෙණිය
සරසවියේ අල්ප උන්නත කැටයම, කොළඹ අගමැති කාර්යාලයේ ප්‍රදර්ශනය වන සිංහල වංශකතාව දැක්වෙන
නිර්මාණය ආදී නිර්මාණ මෙතුමා අතින් නිර්මාණය වූ සුවිශේෂී
ම නිර්මාණ ලෙස හැදින්විය හැකිය.
සෝමබන්දු විද්‍යාපති මහතා චිත්‍ර හා මූර්ති ශිල්පියෙකු
මෙන්ම දක්ෂ වේදිකා සැරසිලි නිර්මාණ ශිල්පියෙක් ද වේ. ප්‍රේමකුමාර එපිටවලගේ
සැළලිහිණි ඉගි නළුව, චිත්‍රසේනයන්ගේ දියසේන, කරදිය, නල දමයන්ති ආදී මුද්‍රා නාට්‍යවල
වේදිකා සැරසිලි, ඇදුම් නිර්මාණ, ආදිය නිර්මාණය කරන්නේ චිත්‍ර ශිල්පී සෝමබන්දු විද්‍යාපති
විසිනි.
ශ්‍රී ලාංකීය විහාර සිතුවම් කලාවේ නව පිටුවක් පෙරළීමට සෝමබන්දු
විද්‍යාපති ශිල්පියා සමත් වේ. ඒ බෙල්ලන්විල රජමහා විහාරයේ සිතුවම් නිර්මාණය
කරමින්ය. රිද්මයානුකූල රේඛා හා වර්ණ භාවිතා කරමින් ඉතා සුපරික්ෂාකාරීව,
ඉවසිලිවන්තව බෙල්ලන්විල විහාරයේ සිතුවම් නිර්මාණය කිරීමට සෝමබන්දු විද්‍යාපති
ශිල්පියා සමත් වී ඇත. සාම්ප්‍රදායික රාමුවෙන් මිදී බුද්ධ චරිතයේ විවිධ අවස්ථා,
සිද්ධීන් සිත් ඇද ගන්නා සංගත වර්ණ මාලාවන් භාවිත කරමින් මෙම බිතුසිතුවම් පෙළ
නිර්මාණය කර ඇත. මාතෘකාවට විචිත්‍ර වර්ණමාලාවක් භාවිතා කරමින්, පින්සල් පහරවල් ඉරි
සේ පෙනෙන අයුරින් සිතුවම් වර්ණ ගන්වා තිබේ. මෙය බොහෝ දෙන්ගේ කතාබහට ලක්වූ
සිතුවම්කරණයක් විය.
මෙලෙස බිතු සිතුවම් කලාවට නව මානයක් ගෙන එමින් සෝමබන්දු
විද්‍යාපති කලාකරුවා ලාංකීය චිත්‍ර හා මූර්ති කලාවන් පෝෂණය කිරීමට විශාල දයකත්වයක්
ලබා දුන් විශිෂ්ඨ නිර්මාණකරුවෙකි.
© අසීමාන්තික WEB MAGAZINE



Comments
Post a Comment