වසංගත රෝ බිය දුරුකළ අතීත නිරෝධායනය
මුළු මහත් ලෝකයක් එක හා සමානව බියෙන් සැකෙන් ජීවත්වන කාල වකවානුවක් කෙදිනක හෝ උදා වෙතැයි ඔබ එක් මොහොතක දී හෝ සිතුවා ද? කිසිවෙකු නොසිතූ නොපැතූ අයුරින් ලොවම ගිලගත් කොවීඞ් 19 හෙවත් කොරෝනා වසංගතය සමස්ත ලෝකයාගේ ජීවන ගමන මොහොතින් මොහොත වෙනස් කරමින් සිටී. කෙසේ වෙතත් කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේ පටන් එහි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සාර්ථක රෝග පාලන ක්‍රමයක් වශයෙන් නිරෝධායනය යන්න ඉදිරියට පැමිණියේ ය. Quarantine ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා දෙන නිරෝධායනයේ දී රෝගකාරකයකට නිරාවරණය වූ හෝ නිරාවරණය වීමට ඉඩ ඇති පුද්ගලයන් සමාජයේ අනෙක් පුද්ගලයන් අතර ගැවසීම හැකිතාක් දුරට අවම කිරීම සිදුවේ. ඈත අතීතයේ පටන් වෛරස ආදියෙන් වැළඳෙන බෝවන රෝග පාලනය සඳහා වඩාත් ක්‍රමවත් රෝග පාලන ක්‍රමයක් වශයෙන් නිරෝධායනය භාවිත වූ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. 

ක්‍රි.ව. 1347 ත් 1351ත් අතර කාලයේ දී යුරෝපය තුළ ඉතා දරුණු මහාමාරිය වසංගතයක් ව්‍යාප්ත වූ අතර යුරෝපා ජනගහනයෙන් 1/3 ක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් ඉන් අහිමි විය. කළු මරණය යන අන්වර්ථ නම් දැරූ මෙකී වසංගතයේ ඉහළම බලපෑම සිදුවූයේ ඉතාලියට ය. ඒ හේතුවෙන් රෝගය පැතිරී තිබූ ප්‍රදේශවල සිට පැමිණෙන නැව් ඉතාලියේ වැනීසියට ඇතුළු කර ගැනීමට පෙර දින 40 ක කාලයක් නැංගුරම් දමා තිබිණි. ඒ අයුරින් දින 40 ක කාල සීමාවක් හුදෙකලාව තැබීමේ සංකල්පය නිරෝධායනය වශයෙන් හඳුනාගත් අතර දින 40 යන වචනය ඉතාලි භාෂාවෙන් ලියනු ලබන්නේ Quaranta giorni  ලෙස ය. ඒ අනුව වර්තමානයේ භාවිත වන Quarantine යන වචනය ඉතාලි බසින් බිඳී ආවක් වශයෙන් හඳුනා ගැනේ. එමෙන්ම 19 වන සියවසේ දී අවස්ථා කිහිපයකදී කොළරා වසංගතය ලොව පුරා පැතිර ගිය අතර යුරෝපයට මින් ප්‍රබල බලපෑම් එල්ල විය. එහිදී රෝග වැළඳුණු පුද්ගලයන් හුදෙකලා කිරීම මෙන්ම යුරෝපයේ සිට පැමිණෙන නැව් දින කිහිපයක් හුදෙකලා කර තබා වරායට ඇතුළු කර ගැනීම සිදුවිය. ඒ අනුව නිරෝධායනය යනු ලෝකයට ආගන්තුක වූවක් නොවන බව පැහැදිලි ය. 

විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ද විවිධ වසංගත රෝගවලින් ආරක්ෂා වීම සඳහා නිරෝධායනය සිදුකළ බව සංස්කෘතික අධ්‍යයනයේ දී හඳුනාගත හැකිය. අතීතයේ දී යම් ගම්මානයක බෝ වන රෝගයක් පවතින්නේ නම් එවැනි ගම්මාන හුදෙකලා කෙරිණි. එමෙන්ම එම ගම්මානයට වෙනත් කිසිවෙකු ඇතුළත් නොවන ලෙස අඬබෙර ගසා සන්නිවේදනය කරනු ලැබිණි. ගම් වශයෙන් හුදෙකලා කළ අවස්ථාවන්හි දී ගම කෙළවරෙහි ගොක් රෑන් එල්ලා වෙන් කළ අතර ගමෙහි කිසිවෙකුට ගමෙන් පිටවීමට ඉඩ නොදුණි. වර්තමානයේ දී මෙන් නිරෝධායනය ලෙස නාමකරණය නොවුණ ද අතීතයේ දී ක්‍රියාත්මක වූයේ ද නිරෝධායන ක්‍රියාවලියක් බව පැහැදිලි ය. බෝවන රෝග වැළඳුණු පිරිසට පොදුවේ සියලු දෙනා භාවිත කරන ගංඟා, ඇළදොළ, වැව් ආදියට පැමිණීම තාවකාලිකව තහනම් විය. එවැනි රෝගීන්ගේ භාවිතය සඳහා වෙලක වැනි ස්ථානයක වෙනමම ළිඳක් කපනු ලැබී ය. ඔවුන් ස්නානය කිරීම සඳහා භාවිත කළ කළගෙඩි, භාජන ආදිය බිඳ දමා විනාශ කෙරිණි. 

එමෙන්ම රෝගීන්ගේ අතෙහි සුදු පැහැ නූලක් ගැට ගැසූ අතර එමඟින් ඔවුන් සෙසු පිරිසෙන් වෙන්කොට හඳුනාගත හැකි විය. 
පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග අම්මාවරුන්ගේ රෝග වශයෙන් හැඳින්වූ අතර එවැනි රෝග දේව කෝපය මත ඇති වන බව පැරණි ජන විශ්වාසය විය. ඒ අනුව එවැනි අවස්ථාවලදී රෝගියා සිටින නිවසේ සියලු දෙනා නිවසින් පිට නොවී සෙස්සන්ගෙන් දුරස් වී සිටි අතර ගොක්කොළ රැහැන්, කොහොඹ කොළ ආදිය නිවස ඉදිරිපිට එල්ලා තැබිණි. එමඟින් නිවසෙහි එවැනි රෝගී තත්ත්වයක් ඇති බවට සන්නිවේදනය කෙරිණි. එමෙන්ම යම් නිවෙසක එවැනි රෝගීන් සිටින්නේ නම් සෙසු ගම්වැසියන් රෝගීන්ට හිරිහැර වන පරිදි ප්‍රීති උත්සව හෝ වෙනත් විනෝදකාමී ක්‍රියාවන්හි නිරත නොවී ය. එමෙන්ම ගම්මානයේ ඇති පොදු ආගමික උත්සව ආදිය සඳහා රෝගී නිවසේ කිසිවෙකු සහභාගී වූයේ නැත. විශේෂයෙන්ම ගම්මඩු, දෙවොල්මඩු ආදී අවස්ථාවන් ගම්මානයේ පවත්වන්නේ නම් එවැනි දේ සඳහා සහභාගී නොවූ අතර අදාළ නිවැසියන් මාස 03 ක පමණ කාලයක් සෙස්සන් සමඟ සමීපව කටයුතු නොකළේ ය. ඒ සියල්ලම පාහේ සාර්ථක නිරෝධායන ක්‍රමවේදයන් විය.
යම් අයුරකින් ගම්මානයක බෝවන රෝගයක් ප්‍රබල ලෙස ව්‍යාප්ත වන්නේ නම් ගම්මානයේ සිව්කොණ පහන් පැල් සතරක් සිටුවා පහන් දල්වා භාරහාර වූ අතර රෝගය අවසන් වූ පසු ගම්මඩුවක් පවත්වා භාරහාර ඔප්පු කිරීම සිදුවිය. යම් ගම්මානයක පහන් පැල් දල්වා ඇති විටෙක එම ගමෙහි බෝවන රෝගයක් ඇති බවට සෙසු ගම්මානවල වැසියන් වෙත සන්නිවේදනයක් ලැබිණි. එහිදී වෙනත් ගම්මානයන්හි පිරිස එම ගම්මානයට ඇතුළු නොවූ අතර එම ගම්මානයෙහි පිරිස හුදෙකලා වීම සිදුවිය. ඒ අනුව ඒ සියල්ලම පාහේ යාතුකර්මයන්ට එහා ගිය සන්නිවේදන උපක්‍රම මෙන්ම රෝගය ව්‍යාප්ත වීම වළක්වන නිරෝධායන විධික්‍රම වශයෙන් හඳුනාගත හැකිය. බොහෝ විට යම් නිවෙසක පිරිසක් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හුදෙකලාව සිටින්නේ නම් එවැනි අවස්ථාවල සෙසු ගම් වැසියන් විසින් ඔවුන්ට අවශ්‍ය වන ආහාර පාන ආදිය සපයා දෙනු ලැබී ය. එහිදී ආහාර පාන ආදිය රැගෙන රෝගී නිවෙස තුළට නොයමින් නිවස ඉදිරියේ කඩුල්ල අසලින් තබා යාම සිදු විය. එම ආහාර දැමූ භාජන පවා නැවත භාවිතයට නොගෙන ඉවත් කරන ලදි. වර්තමානයේ දී ද නිරෝධායනය වශයෙන් ක්‍රියාත්මක වන්නේ මෙම කාර්යය බව පැහැදිලි ය. 

වසංගත වැනි බෝවන රෝග දින 14 ක් හෝ 21ක් පමණ පවතින බව අපගේ පැරැන්නන් සමාජ සම්මත දැනුමින් පිළිගත් කරුණකි. වර්තමාන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයන්ගෙන් පවා මෙය පිළිගෙන ඇති බව කොරෝනා වසංගතය සමඟ අපට දැක ගැනීමට ලැබේ. එමෙන්ම නිරන්තර විෂබීජහරණය සිදු කිරීම පැරණි ජන සම්ප්‍රදාය තුළ දැකිය හැකි විය. රෝගීන් වෙනුවෙන් සේවය කරන පිරිස විවිධ ඔසු වර්ග යෙදූ ඖෂධීය ජලයෙන් අත් පා දෝවනය කළේ ය. දෙහි, යකි නාරං වැනි පැඟිරි වතුරෙන් තෙමීම මෙන්ම අඹරන ලද අමු කහ ආදිය තවරා තම දෑත් දෙපා පවිත්‍ර කරගනු ලැබී ය. නූතනයේ දී ද විෂබීජ නාශක දියර මෙලෙසින් භාවිත වීම දැකගත හැකි ය. 
කොරෝනා වසංගතය ආරම්භක අවස්ථාවේ පටන් අප රට තුළ නිරෝධායන ක්‍රියාදාමය ක්‍රියාත්මක වීම දැකගත හැකි විය. ඇතැම් අවස්ථාවල දී ඇතැම් පිරිස් නිරෝධායනය නොවී හොර රහසේ පැන 


ගිය පුවත් අපට අසන්නට ලැබිණි. නිරෝධායනය යනු බිය විය යුතු හෝ ලැජ්ජාවට පත්විය යුතු කරුණක් නොවේ. සමාජයේ ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් විවිධ දුර්මත ගොඩනගා ගෙන සිටීම ද දැකගත හැකි ය. නමුත් නිරෝධායනය යනු අප සමාජයට ආගන්තුක වූවක් නොවේ. අතීතයේ පටන් විවිධ වසංගත උවදුරුවලදී සාර්ථක රෝග පාලන ක්‍රමවේදයක් වශයෙන් නිරෝධායන ක්‍රමයන් භාවිත වූ බව පැහැදිලි කරුණකි. එසේ නම් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සෞඛ්‍ය උපදේශයන් නිසි පරිදි ආරක්ෂා කරමින් රට වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කරමු.  

© අසීමාන්තික WEB MAGAZINE
හංසනි දිල්හාරා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.


අසීමාන්තික WEB MAGAZINE
සයිබර් අවකාශයේ අසීමාන්තිකව කියවන්න

Comments

Popular Posts