කම්මැලිකම හා ජීවිතය

 

            ගොඩක් මිනිස්සු කැමතියි ජීවිතය දිනන්න. සාර්ථක ජීවිතයක් ගත කරන්න. ඒත් ඒ හිතින් විතරයි. හැමදාම හිතනවා  මම කවදාහරි  හොඳ තැනකට යනවා කියලා. ඒත් ඒක කරන්න හීනයක් ම විතරයි. මොකක් ද මේකට හේතුව?? ඔබගේ ගමනට බාධා කරන්නේ ඔබ ළඟ තිබෙන කම්මැලිකම. කම්මැලිකම තමයි ඔබේ ජීවිතයේ ලොකු ම සතුරා. 

                ඔබට හෙට කරන්න වැඩ ගොඩක් තියෙනවා කියලා හිතමු. ඔබ අද හිතනවා හෙට උදේ ම අවදිවෙලා ඔබ මේ වැඩ ඉවර කරනවා කියලා. ඔබේ හිතේ සැලසුමක් හදාගෙන ඉන්නවා හෙට වැඩ කරන්නේ කොහොම ද කියලා. ඒත් ඔබට උදේ පාන්දර නැගිටින්න කම්මැලි හිතෙනවා. එතකොට ඔබ සැලසුම් කරගත්ත වැඩ එදා ඉවර කරන්න බැරි වෙනවා.  හිතලා බලන්න ඔබේ සාර්ථකත්වයට වැටකඩුළු බඳින්නේ  කම්මැලිකම නේද කියලා. ගොඩක් මිනිස්සු කම්මැලිකම නිසා කොච්චර දුක් විඳිනවා ද? හොඳ රස්සාවක් කරන්න , සල්ලි උපයන්න කම්මැලි නිසා නිකරුණේ දුක් විඳිනවා. පාඩම් කරන්න කම්මැලි නිසා විභාග අසමත් වෙනවා. ඒත් ප්‍රතිඵල ආවම ඔබ දුක් වෙනවා එදා කම්මැලි නොවී හොඳට පාඩම් කළානම් විභාගය සමත් වෙනවා නේද කියලා. එහෙම පසුතැවීම් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. 

              ඔබේ ජීවිතයට අරමුණු ඉලක්ක ගොඩනඟා ගත්තට වැඩක් නෑ ඔබ කම්මැලියෙක් නම්. බාලගිරි දෝසය වගේ කම්මැලි මිනිස්සු හැමදාම එදිනෙදා වැඩ කල් දානවා. අන්තිමේ දි නිකරුණේ කාලය නාස්ති වෙලා. තමන්ගේ ජීවිතයට යමක් කරගෙන නෑ ඒ කාලය තුළ. ඔබේ ජීවිතය කම්මැලිකම නිසා අසාර්ථක කර ගන්න එපා. ඔබේ හිතේ තියෙන අරමුණු වලට යනවිට ඔබට කම්මැලිකම පරාජය කරන්න වෙනවා. ඒකට ස්ථිර අධිෂ්ඨානය ඔබ තුළ තියෙන්න ඕනේ. කම්මැලිකම හිතට එන හැම වෙලාවකදි ම ඔබ හිතන්න මම මේ අරමුණු වෙත කොහොමහරි යනවා කියලා. ඔබ චිත්ත ධෛර්යය ඇති කරගත්තම කරන්න බැරි වැඩක් නෑ. උත්සාහයෙන් කැපවීම තමයි අවශ්‍යය. කඩිසරව වැඩ කරන්න. ඔබ ඔබේ ජීවිතේ ගැන අධ්‍යනය කරන්න. කම්මැලිකම නිසා මඟහැරුණු තැන් මොනව ද කියලා අවබෝධ කරගන්න. කම්මැලිකම නැමැති දුර්වලතාවය ජීවිතයෙන් ඈත් කරන්න. ඔබ අද කම්මැලි වෙලා නිදාගෙන හිටියොත් අනාගතය ම ඔබේ අඳුරුයි. 

            ඔබ අද මහන්සි වෙලා වැඩ කළොත් ඔබට හොඳ අනාගතයක් හිමි වේවි. හිතන්න කම්මැලියෙක් වෙලා ජීවිතය පරාජය වෙනව ද? උත්සාහවන්තයෙක් වෙලා ජීවිතය ජය ගන්නව ද කියලා. ඔබට ජය!


මධූ ජයතිලක

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

 

 


Comments

Popular Posts