රටම ප්‍රිය - මහින්ද දේශප්‍රිය

 

රටම ප්‍රිය - මහින්ද දේශප්‍රිය

        ජාති භේද, පක්ෂ භේද නොමැති ව අප කොයි කවුරුත් ආදරය කරන චරිතයක් ලෙස මහින්ද දේශප්‍රිය මහතා හඳුන්වා දෙන්න පුලුුවන්. මැකෝ යන අන්වර්ථ නාමයෙන් ජනතාව අතර කැපී පෙනුණු චරිතයක් වන මෙතුමා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවේ වත්මන් සභාපතිවරයා යි. අමිබලන්ගොඩ විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය ලැබූ මොහු භෞතික විද්‍යාව පිළිබද විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගෙන ධ්රමාශෝක විද්‍යාලයේ රසායන විද්‍යාව හා ගණිතය පිළිබද ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරමිභ කරන ලදි. 1983 ජූලි 1වන දා මැතිවරණ දෙපාර්තමේන්තුවට එක්වන මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුර දක්වා සිය වෘත්තීය ජීවිතය තුළ ප්‍රගතියක් ලැබීය. සිය වෘත්තීය කාලය තුළ සහකාර මැතිවරණ කොමසාරිස්, නියොජ්‍ය කොමසාරිස් සහ අතිරේක කොමසාරිස්  ආදී තනතුරු දැරීමට මෙතුමා සමත් විය.

        වර්ශ 1998 දී ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි ලෙස සිටියදී  යාපනය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් එහි සේවය කළ නොහැකි බව පවසන විටදී යාපනය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීයා ලෙස සේවය කිරීමට මෙතුමා ඉදිරිපත් වී තිබේ. දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත් වුයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව ය. එතෙක් ඔහු මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර වන මැතිවරණ කොමසාරිස් ධූරය දැරුවේ ය. 

        මහින්ද දේශප්‍රිය මහතා ජනතා ආකර්ශනයට පත් වූයේ 2015 ජනාධිපතිවරණයේ දී “කකුලට නොව හිසට වෙඩි තබන්නැයි” ඔහු කළ ප්‍රකාශයෙනි. ඇත්ත වශයෙන් ම එම ප්‍රකාශය නිසා 2015 ජනාධිපතිවරණය නීත්‍යානුකූල ව පවත්වන්නට විශාල පිටිවහලක් ලැබුණි. එම ප්‍රකාශය නීතියට අනනුකූල වුව ද එම කාලයේ පැවති වාතාවරණය නිසා එය ඉමහත් ජනප්‍රසාදයට පත් වූ ප්‍රකාශයක් විය.

       මහින්ද දේශප්‍රිය මහතා සැබවින්ම ජනතාවගේ රාජ්‍ය නිලධාරියෙකු විය. රාජ්‍ය නිලධාරියකුගේ භූමිකාවෙන් වෙනස් ව, වෙනස් ඇඳුමක් පවා අඳිමින් නිතරම ඔහු මහජනතාව සමඟ රැදෙමින් ගැටෙමින් රාජකාරි කළේය. එසේම මහින්ද දේශප්‍රිය මහතා කොළඹ නගරයේ තරුණ තරුණියන් සමඟ පවා ලෙන්ගතු ආශ්‍රයට යොමු වූයේ ෆේස්බුක් සමාජ ජාලයේ ආකර්ෂණීය චරිතයක් බවට පත්වෙමිනි. පොත් ප්‍රදර්ශන, පොත් එළිදැක්වීම්, නාට්‍ය, චිත්‍රපට ප්‍රදර්ශන ආදී සාමාන්‍ය ජනතාව ගැවසෙන ස්ථාන ඔහු නිතර දක්නට ලැබුණි. 

        මහින්ද දේශප්‍රිය මහතාගේ කථන විලාශය ජනතාව බෙහෙවින් ප්‍රිය කරන්නට වු අතර එනිසා ම ඔහුට සමාජයේ ඉහළ ජනතා ආකර්ශනයක් හිමි විය. නිතරම සිනා මුසු මුහුණින් ගෙවන සරල ජීවිතය පිළිබඳ ව ද ජනතාව තුල ඇත්තේ පැහැදීමකි. මෙතුමා මැතිවරණ කොමසාරිස් ධූරයට පත් වූ මුල් කාලයේ පිළිගැනීමේ උත්සවයක් එතුමා අධ්‍යාපය ලැබූ පාසල වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දී පැවැත්වුණි. එහි දී ඔහු මහත් ආඩම්බරයෙන් පැවසුවේ තමා පත් කරන්නට ජනාධිපතිවරයාට හැකි වුවත් ඉවත් කරන්නට නම් ජනාධිපතිවරයාට හෝ නොහැකි බව යි. එමගින් ඔහු වක්‍රව හැඟවූයේ තමා කිසිවෙකුට බියෙන්, යටපත් වෙමින් රාජකාරි කිරීමට සූදානම් නැති බවයි.

         වසර 37ක මැතිවරණ කොමිෂන් සභා සේවා කාලයක් සටහන් කරමින් සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී විශ්‍රාම ගැනීමට සූදානමින් සිටි. අගෝස්තු 6වනදා පැවති මාධ්‍ය සාකච්ඡාව මැතිවරණ කොමිෂන් සභාවේ ඔහුගේ මූලිකත්වයෙන් පැවැත්වෙන අවසන් මාධ්‍ය සාකච්ඡාව බව එතුමා පැවසුවේ ද සුපුරුදු සිනා මුහුණින්ය.  බොහෝදුරට මෙම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති. එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිත වුවද ඊට පෙර සිය විශ්‍රාම ගැනීම ඔහු සැලසුම් කර ඇති බව පැහැදිලිය.

        මෙලෙස මහජනතාව අතර කැපී පෙනුණු ආකර්ශනීය ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තිබූ මහින්ද දේශප්‍රිය මහතා නුදුරු දිනක දී විශ්‍රාම ගිය පසු ඔහුගේ එම වටිනා අඩුව පිරවීමට අන් කිසිවකුට හැකිවෙතැයි කියා නොසිතෙනුයේ ඒ තරමට ම ඔහු පාඨක, ශ්‍රාවක, ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන නාමයක් සටහන් කර ඇති නිසා බව කිව යුතුම ය. එමෙන්ම රාජ්‍ය සේවකයකු ලෙස ඉතා කැපවීමෙන් සහ අවංක ව සිය රාජකාරිය අකුරට ම ඉටු කළ නිහතමානී පුද්ගලයෙක් ලෙසට එදත් අදත් හෙටත් ජන හදවත් තුල රැදෙන චරිතයක් බවට මහින්ද දේශප්‍රිය මහතා පත්වනු නොඅනුමාන ය.  


තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්

දිනිති හසින්තා

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය


Comments

Popular Posts